Friday, October 2, 2015

ගිනි වළල්ල

ගිනි වළල්ල
පෘථිවිය පුරා විසිරී ඇති ගිනිකඳු ප්‍රමාණයෙන් 75% පමණ පිහිටා ඇති සැතපුම් 25000 ක දිගින් යුතු එක්තරා අපූරු භූගෝලීය පිහිටීමක් ඇත.එය පැසිෆික් සාගරයේ වෙරළ තීරයක් මූලික කොට ගෙන පිහිටා ඇති කවාකාර භූමි පෙදෙසක් වන අතර නමින් ගිනි වළල්ල (Ring Of Fire ) ලෙස ලොව ප්‍රචලිතව පවතී.ලොව පුරා සිදුවන භූමි කම්පා වලින් 90%ක් පමණ සිදුවන්නේ මෙම භූමි කලාපය ආශ්‍රිතවය.මෙය ගිනි වළල්ල ලෙසින් හැඳින්වෙන්නේ එම කලාපය පුරා පැතිරී ඇති සක්‍රීය ගිනිකඳු එකට ගත් කල කවයක් ලෙසින් දකුණු ඇමෙරිකාවේ බටහිර වෙරළ වල සිට  නවසීලන්තය දක්වා උතුරු අර්ධ ගෝලය හරහා සළකුණු වන හෙයිනි.

කේතු හැඩැති Stratovolcano ලෙසින් හැඳින්වෙන ගිනිකඳු
මෙම ගිනි වළල්ලේ පිහිටි ගිනිකඳු විදාරනය වීමේදී දැඩි ප්‍රචණ්ඩතාවයක් පෙන්නුම් කරයි.මෙම ගිනිකඳු ඉතා හොඳ කේතු හැඩයක් ගැනීමද විශේෂ ලක්ෂණයකි. ගිනි වළල්ලේ පිහිටා ඇති ගිනිකඳු විදාරණය වීමේදී පිටවන්නේ සිලිකා බහුල මැග්මා වේ.සිලිකා බහුලවීම  නිසා එම මැග්මා වල ඉහළ දුස්ස්‍රාවීතාවයක් පවතී.පොදුවේ ගිනිකන්දක විදාරණයේදී මැග්මා සමඟ වායූන් ගිනිකඳු විවරයෙන් නිකුත්වේ. නමුත් සිලිකා බහුල වීම නිසා දුස්ස්‍රාවීතාවය අධික වූ Blocky lava ලෙසින් හැඳින්වෙන මෙම ලාවා වර්ගය හේතුවෙන් එම වායූන්ට රිසිසේ  විවරයෙන් පිටතට ගමන් කිරීමට නොහැකි වීම නිසා ගිනිකන්ද තුල විශාල පීඩනයක් එක්රැස් වී එය දරාගැනීමේ උපරිම සීමාවට ළඟා වූ විට ප්‍රචණ්ඩ විදාරණයක් සිදුකරයි.විදාරණයෙන් අනතුරුවද මෙම ලාවා වල ඇති අඩු සචලතාවය නිසා ගිනිකන්ද දෙපසින් සෙමින් පහල බැසීම හේතු කොට ගෙන එක මත එක ස්ථර වශයෙන් තැන්පත් වී ඝනීභවනය වී උස් බිම් සැකසේ.එය ඉහත සඳහන් කල කේතු හැඩැයෙන් යුත්  Stratovolcano ලෙසින් හැඳින්වෙන ගිනිකඳු වර්ගය බහුල වශයෙන් පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා තිබීමට හේතු වී ඇත.

Phytoplankton ක්ෂුද්‍ර ජීවීන්
පැසිෆික් ගිනි වළල්ලේ ගිනිකඳු විදාරණයේදී පිටතට පැමිණ ඝණීභූත වූ පාෂාණ කොටස් අධ්‍යයනය කල විද්‍යාඥයින් පහදා දෙන  ආකාරයට ඒවායේ Hornblende ලෙසින් හැඳින්වෙන ස්ඵටික නිරීක්ෂණය වී ඇත.මෙම  Hornblende ස්ඵටික නිර්මාණය වන්නේ ජලය තිබෙන පරිසරයක් තුල වීමද විශේෂත්වයකි.තවද ගිනි වළල්ලේ ගිනිකඳු වලින් පිටවන වායූන් අධ්‍යයනය කල විද්‍යඥයින් පවසන්නේ C-12 මූලද්‍රව්‍ය සැලකිය යුතු මට්ටමින් ඔවුන්ට නිරීක්ෂණය කල හැකි වූ බවයි.ජලය තිබෙන පරිසරයක් තිබීම සහ C-12 මුලද්‍රව්‍ය තිබීම ගිනි වළල්ලේ ගිනිකඳු තුල ක්‍රියාවලියට සහභාගි වන්නේ කෙසේද යන ගැටළුව විද්‍යාඥයන් පහදා දෙන ආකාරය ඉතා සිත්ගන්නා සුළු වේ.එය මෙසේය.සාගරයේ වෙසෙන Phytoplankton නම් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය වර්ධනයේදී තම සෛල තුලට C-12 උරාගැනීම සිදුකරයි.එම ක්ෂුද්‍ර ජීවීන් අභාවයට පත්වූ විට උන්ගේ ශරීර ක්‍රමයෙන් සාගර පත්ලට ගොස් තැන්පත් වන අතර මෙම සිදුවීම කාලන්තරයක් තිස්සේ සිදුවීමේ ප්‍රතිපලයක් ලෙස සාගරයේ මණ්ඩි ලෙස පත්ලේ තැන්පත් වේ.මේ හේතුවෙන් C-12 සාගර පතුලට එක්වේ.නමුත් පැසිෆික් වෙරළ තීරයන් හා ගිනි වළල්ල සලකා බැලුවිට වෙරළට සැතපුම් කිහිපයක් ඈතින් පිහිටන ගිනිකඳු තුලින් Hornblende ස්ඵටික නිර්මාණයට ජලය තිබීම, ගිනිකඳු තුලින් පිටවූ වායූන්ගේ C-12 නිරීක්ෂණය වීම වැනි කරුණු ඈත සාගර පතුලේ තැන්පත් වූ දෑ සමඟ දක්වන සබැඳියාව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එක්තරා සුවිශේෂී භූ විද්‍යාත්මක සංසිද්ධියක් හරහා වීම සුවිශේෂී වේ.එනම් මෙය පහදා දිය හැක්කේ Subduction නම් භූ විද්‍යාත්මක ක්‍රියාවලිය මඟිනි.

Subduction ක්‍රියාවලිය
පෘථිවිය දෙස බැලූ බැල්මටම නොපෙනුනත් පෘථිවි ශිලා ගෝලය (Lithosphere) භූ තල ගණනාවකට වෙන්වී ඇත.පෘථිවි අභ්‍යන්තරයේ මැග්මා ක්‍රියාකාරීත්වය නිසා මෙම භූ තල නිරතුරු චලනය වේ. සාගරයක් සහිත කබොලක් ඇති භූ තලයක් සහ මහාද්වීපික කබොලක් සහිත භූ තලයක් ගැටුනු කල සාගර කබොල සහිත භූ තලයේ ශිලාගෝලය මහාද්වීපික කබොල සහිත භූ තලය පහළින් ඝර්ෂණයකට භාජනය කරමින් තෙරපී පෘථිවි මැන්ටලය (Mantle) තුලට  ගමන් කරයි.එසේ වන්නේ සාගර කබොල සහිත භූ තලය මහාද්වීපික කබොලක් සහිත භූ තලයට වඩා ඝනත්වයෙන් අඩු හෙයිනි.එනිසා මෙම Subduction ක්‍රියාවලිය සිදුවන භූ තල මායිම් ඔස්සේ  ඇතුලට නෙරුනු ස්වභාවයක් සහිතව විහිදුනු සාගර අගල් (Oceanic Trenches) නිර්මාණය වේ.

ඉහත ක්‍රියාවලිය පැසිෆික් භූ තලයටද පොදුය.පැසිෆික් භූ තලය ප්‍රධාන භූ තල අතුරින් විශාලතම භූ තලයද වේ.විශාල සාගර කලාපයක් සහිත කබොලකට හිමිකම් කියන පැසිෆික් භූ තලය ඊට තදාසන්න අනෙකුත් භූ තල හා ගැටීමේදී සිදුවන Subduction ක්‍රියාවලිය නිසා පැසිෆික් භූ තල මායිමේ කැපී පෙනෙන විශාල සාගර අගලක් නිර්මාණය වී තිබීම  විද්‍යාඥයින් විසින් රේඩාර් මඟින් නිරීක්ෂණය කොට ඇත.ඉහත Subduction ක්‍රියාවලිය නිසා සාගර කබොලේ ඉහල ස්ථර වල තැන්පත්ව තිබූ දෑ තෙරපී සීරී ගොස් අනෙක් භූ තලයේ මහාද්වීපික කබොලට එකතු වී උස් බිම් ,නව වෙරල සීමාවන් සහිත ගොඩබිම් නිර්මාණය කරයි.එසේම ක්‍රියාවලිය ඔස්සේ පහලට ගමන් කරන පෙර සාගර පතුලට වන්නට පිහිටා තිබූ ස්ථරවල තැන්පත්ව තිබූ ජලය හා Phytoplankton වැනි ක්ෂුද්‍ර ජීවීන් නිසා එකතු වූ C-12 වැනි දෑ පෘථිවි අභ්‍යන්තරයේ ඇති මැග්මා සමඟ කැකෑරී මහාද්වීපික කබොලේ නිර්මාණය වී ඇති ගිනි කඳු ඔස්සේ C-12 අඩංගු වායූන් සමඟ වාතලයට එක් වීම සහ ජලය නිසා භූ ඝර්භය තුල Hornblende ස්ඵටික නිර්මාණය වී එවා ගිනිකඳු විදාරණයේදී පිටතට පැමිණීම මඟින් විද්‍යාඥයින්ට ඉහත සාධක නිරීක්ෂණය කල හැකි වීම විස්තර කල හැක.

Friday, September 18, 2015

අලි - ඉනොකි සටන

අලි හා ඉනොකි තරගය අතරතුර
1975 වසරේදී හෙවිවේට් බර පන්ති බොක්සිං ශූරයෙක් වූ මොහොමඩ් අලි විසින් එක්තරා සාදයකදී ඇමෙරිකාවට පැමිණ  සිටි එවකට ජපන් ආධුනික මල්ලව පොර ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කල ඉචිරෝ යදා සමඟ අපූරු කතාබහක් ඇතිවිය. එහිදී අලි විසින් තමන්ට අභියෝගයක් කල හැකි පෙරදිග සටන් කරුවෙක් නොමැතිදැයි විමසා ඇති අතර එසේ සිටී නම් තමන් සමඟ තරග වැදී ඔහු ජයග්‍රහණය කලහොත් තමන් ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් ලබා දෙන බවට යෝජනාවක් සිදුකර ඇත. අලි විසින් සිදුකල මෙම ප්‍රකාශය ඉචිරෝ විසින් ජපන් මාධ්‍යයට නිරාවරණය කිරීමත් සමඟ තත්වය වෙනස්ම මුහුණුවරක් ගැනිනි.මාධ්‍ය හරහා හෙළිදරව් වූ අලි ගේ මෙම අභියෝගයට ප්‍රතිචාර දකවන්නේ අන්තෝනියෝ ඉනොකි නම් ජපන් මල්ලව පොර ශූරයාය. තරගයට පෙරතුව ගණුදෙනුව සඳහා 1976 වසරේ මාර්තු මස අත්සන් කෙරීම සිදුවිය.තරගය පැවැත්වීමට පෙර සිටම දැඩි මාධ්‍ය අවධානයක් ලැබී තිබිනි.

සටන් කරුවන් දෙදෙනා සටන් ආකාර දෙකක් නියෝජනය කරන හෙයින් මෙම විශේෂිත තරගය සඳහා තරග නීතිරීති වෙනස් කිරීමට බලධාරීන්ට සිදුවුනි. තරගය පෙරතුව තිබූ මාධ්‍ය සාකච්ඡාවකදි අලි විසින් ඉනොකිට "පෙලිකන්" යැයි උපහාසාත්මක වාග් ප්‍රහාරයක් එල්ල කොට තිබිනි. ඊට හේතුව වූයේ ඉනොකිට දික්වූ පුළුල් නිකටක් පැවතීමයි . ඊට ප්‍රතිචාර වශයෙන් ඉනොකි "ඔහේගේ මුෂ්ටිය මුලින්ම මගේ නිකටේ වැදිලා තුවාල නොවෙන්න ප්‍රවේසම් කරගන්නවා" යනුවෙන් පවසා තිබේ. සටන 1976 වසරේ ජුනි 26 වැනි දින ජපානයේ Nippon Budokan ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්විනි .ඉනොකි තරගය පුරා අලිගේ පාද ඉලක්ක කොට පහර දීම කැපී පෙනිනි.අලීට බොක්සිං තරගයක මෙන් වැරෙන් මුෂ්ටි ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව මෙයින් සීමා වුනි.ඉනොකිගේ පා පහර වලින් ගැලවෙන අතරතුර මුළු තරගය පුරා අලිට එල්ල කිරීමට හැකිවූයේ මුෂ්ටි ප්‍රහාර හයක් පමණි.

අලි විසින් ඉනොකි 1998 වසරේ මුණගැසුනු අවස්ථාව
වට 15ක් පුරා ඇදී ගිය මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.මෙම තරගයේදී අලි ගේ පාදවලට ඉනොකි විසින් එල්ල කල පහර දීම් කිහිපයක් නිසා අලි ගේ පාදවල ලේ ගැලීම් සිදුවී තිබුනි.තරගයේ නීතීරීති වෙනස් වීම නිසා සටනේ තරගකාරීත්වයට සිදුවූ බාධා නිසා තරගය ගැන ඊට පෙරසිට බලාපොරොත්තු වුනු අකාරයටම තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සතුටු වී නැහැ.ඇතැම් විචාරකයන් පවසන පරිදි මෙම තරගය මොහොමඩ් අලි ගේ බොක්සිං ක්‍රීඩා අනාගතයට බෙහෙවින් නරක බලපෑමක් සිදුකර තිබේ.කෙසේ හෝ මෙම තරගයෙන් අනතුරුව අන්තෝනියෝ ඉනොකි සහ මොහොමඩ් අලි ඉතා කුළුපග මිතුරන් බවට පත්විය.

Sunday, September 13, 2015

ලූසොන් දූපතේ පුදුමාකාර පිහිටීම

දූපත් 3 සහ විල් 2 එකම ඡායාරූපයක
පිලිපීන දූපත් රාජ්‍යයේ විශාලතම සහ ජනාකීර්ණම දූපත වන්නේ වර්ග කිලෝමීටර 109,965 කින් සමන්විත ලූසොන් (Luzon) දූපතයි. පිලිපීනයේ අගනගරය වන මැනිලා නුවර පිහිටා ඇත්තේද එම දූපතේය. ලොව සිව්වැනි ජනාකීර්ණම දූපත වන්නේද ලූසොන් දිවයිනයි. මෙම දූව නැගෙනහිරෙන් පිලිපීන මුහුදෙන්ද, දකුණෙන් සිබුයාන් මුහුදෙන්ද, බටහිරෙන් දකුණු චීන මුහුදෙන්ද වටවී ඇති අතර උතුරෙන් ලූසොන් සමුද්‍ර සංධියෙන් තායිවානයෙන් වෙන්වේ. මෙම ලූසොන් දූපත තුල ස්වභාව ධර්මයේ අරුම පුදුම භූ විෂමතාවයක් පිහිටා ඇත.එනම් දූපත තුල විලක්, එම විල තුල දූපතක්, එම දූපත තුල විලක්, එම විල තුල දූපතක් ලෙසින් ඇති පිහිටීමකි.

සැටලයිට් ඡායාරූපයක්
ලූසොන් දූපතේ ටාල් නම් ගිනි කඳු සංකීර්ණයක් ඇත. එය ඉතිහාසය පුරා 33 වතාවක් විදාරණය වී ඇති අතර පිලිපීනයේ දෙවැනියට වඩාත්ම සක්‍රීය ගිනිකන්ද වේ. මීට වසර ලක්ෂයක් - ලක්ෂ පහක් අතර කාලයකට පෙර සිදුවූ ගිනිකඳු විදාරණයක ප්‍රතිපලයක් ලෙස  සෑදුනු අවාටයක් මිරිදිය ජලයෙන් පිරී ලූසොන් දූපත මැද ටාල් (Taal) නමින් අද හැඳින්වෙන විල බිහිවී තිබේ.එය පිලිපීනයේ තෙවැනි විශාලතම විලද වේ.එම විල තුල විලෙන් ඉහලට මතුවී පෙනෙන ගිනිකඳු විවරයකින් සමන්විත කොටස දූපතක් (Volcano Island) ලෙසින් ඇත.එම ගිනිකඳු විවරය තුල ජලය එක් රැස් වී විලක් නිර්මාණය වී ඇති අතර එම විල (Main Crater Lake) තුල ජලයෙන් ඉහලට මතුවී පෙනෙන දූපතක් (Vulcan Point Island) ඇත.

ගිනිකඳු විවරයෙහි ඇති විල සහ එහි ඇති කුඩා දූපතේ සමීප සැටලයිට් ඡායාරූපයක්

Wednesday, August 26, 2015

ශ්‍රී ලංකා ක්‍රිකට් විජිතයේ කුමරුන්ගේ නික්මයාම


ක්‍රිකට් ක්‍රීඩාවේ කලින් කලට විශිෂ්ටයෝ බිහිවෙයි. ඒත් කා අතරත් ආදර ගෞරවය ලබාගත හැකි පුරාවෘත්තයක් වැනි විශිෂ්ටයන් බිහිවෙන්නේ කලාතුරකිනි. 2015.08.24 එවැනි විශිෂ්ටයෙක් ක්‍රිකට් දිවියට සමුදුන් දිනයක් ලෙස ඉතිහාසයට එක්විය. ඔහු නමින් කුමාර චෝක්ශනාද සංගක්කාර විය.මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ සංගක්කාර එම විද්‍යාලයේ කැපීපෙනෙන ක්‍රීඩකයෙක් විය. කුඩාකාලයේ සිට ක්‍රීඩා කිහිපයක නියැළුනු සංගා පසුව ක්‍රිකට් පමණක් ක්‍රීඩාකිරීමට තීරණය කලේය. ක්‍රිකට් සඳහා තම පියාගේ මග පෙන්වීම මුල් අවධියේදී සංගාට බෙහෙවින් බලපෑ කරුණක් විය.

 2000 වසරේ ටෙස්ට් වරම් හිමිකර ගැනීමට භාග්‍යවන්ත වූ සංගා කඩුළු රකින්නෙක් ලෙස මුල් කාලයේ කලබල ස්වභාවයක් පෙන්නුම් කලද සංගා කැපවීම මගින් වසරෙන් වසර විශිෂ්ට කඩුළු රකින්නෙක් බවට පත්වන්නට විය.ඔහු ජන්මයෙන් හැකියාවන් උරුම කරගෙන පැමිණීමට වඩා ඉතා කැපවීමකින් විශාල විභවයක් ඇතිකරගත් සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස ඔහුගේ ආරම්භයේ සිට ක්‍රිකට් විකාශනය විමසා බලන්නෙකුට අවබෝධ කර ගත හැක.සෑම තරගයකට පෙර පුහුණු සැසි වලදී විශාල කාලයක් සෙසු ක්‍රීඩකයන්ට සාපේක්ෂව දැල් තුල තමාට පන්දු යොමුකරවා ගනිමින් පුහුණු වන බව සංගා ගැන නිතර පැවසෙන ධනාත්මක කරුණක්.ක්‍රීඩාව පිළිබඳ තිබෙන හසල අවබෝධය මෙන්ම චතුර කථිකත්වය අනෙකුත් ලෝකයේ ක්‍රීඩකයන් හා සැසදීමේදී කතාබහට ලක්වූ ඔහු සතු විශිෂ්ට කුසලතාවයක් වූවා. ක්‍රීඩා කරමින් සිටියදී MCC Cowdrey දේශනයක් සිදුකල එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර වීම එය මැනවින් පිළිබිඹු කරන්නක් විය.මනා සංගමයකින් යුතුව දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ කුසලතාවය මගින් ඔහුව කණ්ඩායම තුල නැතිවම බැරි ක්‍රීඩකයෙක් බවට පත්වීමට හේතුවිය.මුල් කාලයේ එක්දින ජාත්‍යන්තර තරග වල වේගයෙන් ලකුණු රැස්කරන්නෙක් නොවූ සංගා ක්‍රමයෙන් අවශ්‍ය විට වේගයෙන් පහරදෙන පන්දු රකින්න යොදවා ඇති අයුරු නිරීක්ෂණය කොට මනා ලෙස පහරවල් නිර්මාණය කරගනිමින් පිටිය පුරා පහර දෙන්නෙක් බවට පත්විය.

එක්දින ජාත්‍යන්තර තරග වලත් ටෙස්ට් තරග වලත් මුළු ලකුණු 10000 පසු කරනවා යනු එතරම් පහසු කටුයුත්තක් නොවේ.වාර්තා පිට ලෝක වාර්තා තබා සමුගන්නා විට ටෙස්ට් තරග වලදී ශතක 38ක්, ද්විත්ව 11ක් වාර්ථාකර සිටි මෙම ලංකා පුත්‍රයා එක්දින ජාත්‍යන්තර තරගවල ශතක 25 ක් සහ අර්ධ ශතක 93ක් ලබා ගෙන තිබෙනවා. තවද සෑම ටෙස්ට් ඉනිම් 6 කට සැරයක් ශතකයක් වාර්ථා කිරීම ප්‍රවණතාවයක් සංගා පෙන්වා තිබෙනවා.ඔහුගේ කැපී පෙනෙන පිතිකරණ සාමාන්‍යයන් ඔහු එම ලකුණු රැස්කර ඇති ආකාරය වර්ණවත් කරයි.ටෙස්ට් තරග ඉතිහාසයේ අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 8000, 9000, 10000, 11000, 12000 වාර්ථා කර ඇති මෙම චමත්කාරජනක වමත් පිතිකරුවා අවම වශයෙන් ටෙස්ට් තරග 50ක් ක්‍රීඩා කල ක්‍රීඩකයන් සැලකීමේදී 1975 වසරෙන් පසු ඉහලම ටෙස්ට් පිතිකරණ සමාන්‍ය හිමි ක්‍රීඩකයා මෙන්ම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ලකුණු 5000කට වඩා රැසකර ඇති ක්‍රීඩකයන් අතුරින් ඉහලම ටෙස්ට් පිතිකරණ සමාන්‍යයක් හිමි පිතිකරුවන් අතර පස් වැනි තැන හිමි ක්‍රීඩකයාද වනවා.ටෙස්ට් ඉනිම් 7 කදී පිට පිට අර්ධ ශතක වාර්ථා කරමින් ලෝක වාර්තාව සමකර ඇති සංගා කඩුළු රැකීම ටෙස්ට් තරගවල අත්හල පසු පිතිකරුවෙක් ලෙස 70 වකට ආසන්න පිතිකරණ සාමාන්‍යයක් රඳවාගෙන ඇත්තේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණක් දෙවෙනි වෙමින්ය.සියළු ටෙස්ට් ක්‍රීඩා කරන රටවලට එරෙහිව ලකුණු 150 ට වඩා රැස්කර තිබෙන සංගා  එකපිට ටෙස්ට් ඉනිම් 4කදී ලකුණු 150 ට වඩා රැස්කල එකම පිතිකරුවා වීමද සුවිශේෂී කරුණකි.

එක්දින ජාත්‍යන්තර තරග සැලකීමේදී පිට පිට තරග 4කදී ශතක 4ක්,දෙවෙනි වැඩිම අර්ධ ශතක සංඛ්‍යාව.දෙවැනියට වැඩිතම මුළු ලකුණු සංඛ්‍යාව වැනි වාර්ථා සුවිශේෂී වේ.සියළු ජාත්‍යන්තර තරග ආකාර සැලකීමේදී එක් කැලැන්ඩර් වසරකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැසකල පිතිකරුවා (ලකුණු 2868,2014 වසර) සංගා වීම ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකින්ම ඔහුගේ පිතිකරණයේ විශිෂ්ටත්වය මැනවින් පෙන්වා දෙයි.වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවක් එක්දින ජාත්‍යන්තර තරගවල සිදුකල කඩුළු රකින්නාද වන්නේ කුමාර් සංගක්කාරයි.ඉහත සඳහන්ව ඇත්තේ ඔහුගේ අති විශාල වාර්ථා ප්‍රමාණයෙන් ස්වල්පයක් පමණක් බව අනිවාර්යයෙන් පැවසිය යුතු කරුණකි.

ජාත්‍යන්තර වශයෙන් ඔහුගේ විශිෂ්ටත්වය සම්මානයට පාත්‍ර වී ඇති අවස්ථා අතර ICC People's choice සම්මානය පිට පිට 2011,2012 වසර දෙක තුලදීද, වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රීඩකයා සඳහා ICC සම්මානය 2011,2013 වසර දෙක තුලදීද, 2012 වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සහ 2012 වසරේ  ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා ICC සම්මානයද, 2015 වසරේ ආසියානු සම්මාන උළලේ ක්‍රීඩාව තුළින් ළඟාකරගත් දක්ෂතා අගයනු වස් ක්‍රීඩා අංශය සඳහා වෙන්වූ සම්මානය සංගාට හිමිවීම වැනි දෑ විශේෂයෙන් සඳහන් කල හැක.

ඉන්දියානු උප මහද්වීපික දඟ පන්දුකරණයට හිතකර තණතිලි තුලත් ඉන් පිටත ඉපිලීමක් සහිත වේග තණතීරු තුලත් එක හා සමාන පිතිකරණ දක්ෂතා පෙන්වා ඇති සංගා තම නායකත්වය යටතේ 2009 වසරේ T20 ලෝක කුසලානයෙත් 2011 වසරේ එක්දින ජාත්‍යන්තර ලෝක කුසලානයෙත් තම කණ්ඩායම අවසන් මහා තරගය දක්වා මෙහෙයවා තිබෙනවා.සෑම දෙයකටම අවසානයක් පැවතීමේ ලෝක ධර්මතාවය සපථ කරමින් නිසි කාලය එළඹි කල තමා මහත් සේ කැපවුනු ආදරය කල ක්‍රීඩාවට සමුදුන්නේ ශ්‍රී ලංකා මාතාවට ජයග්‍රහණ රැසක් ලබාදුන් වාර්ථා අතිමහත් සංඛ්‍යාවක් මෙරට ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුල ඉතිරි කරවමිනි.විසි එක්වන සියවසේ මෙතෙක් ක්‍රීඩා කර ඇති විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා මෙන්ම මෙතෙක් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම වමත් පිතිකරුවාගේ ක්‍රිකට් ක්‍රීඩා දිවිය අවසන් වන්නේ අපට වටිනා පාඩම් රැසක් ලබදෙමිනි.එනම් නිවැරදි දේ නිවැරදි ආකාරයට නිවැරදි මොහොතේ සිදුකිරීමන් විශිෂ්ටයකු බවට පත්විය හැකි බවය.

Thursday, February 26, 2015

Mankading...

සචිත්‍ර බට්ලර්ව දවාගත් අයුරු
2014 වසරේ ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරයේ දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පස්වැනි තරගයේ කා අතරත් කතාබහට ලක්වූ සිදූවීමක් විය. ඒ දඟ පන්දුයවන්නකු වන සචිත්‍ර සේනානායක් විසින් එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් දවා ගැනීමයි. මෙය සාමාන්‍ය ආකාරයේ දවාගැනීමක් නොවූ අතර ක්‍රිකට් ඉතිහාසයේ පැරණි සිදුවීමක පුනරාගමනයක් ලෙසින් විචාරකයන් කතාබහට ලක්කරන්නට විය.එම දවාගැනීමේ ක්‍රමය Mankading ලෙසින් හැඳින්වේ.මෙම ක්‍රමයේ ඉතිහාසයේ සිට අද දක්වා පැමිණ  ඇති ආකාරය අපි විමසා බලමු.

විනූ මන්කඩ්
1940/50 දශකයන්හි ක්‍රිකට් ක්‍රීඩා කල විනූ මන්කඩ් නම් ඉන්දියානු ක්‍රීඩකයෙක් විය.ඔහු පිතිකරුවෙක් මෙන්ම වමතින් පා දඟ පන්දු යනන්නෙක් විය.1947/1948 ඉන්දියානු පිලේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙදී ඕස්ට්‍රේලියානු පිතිකරු බිල් බ්‍රවුන් පන්දු යවන්නාගේ අන්තයේ සිටියදී දුවද්දී දවා ගැනීමට පන්දු යවමින් සිටි මන්කඩ් සමත්විය. පන්දු යවමින් සිටි අවස්ථාවේ පිතිකරු බිල් පන්දු යවන අන්තයේ සීමාව ඉක්මවා ගොස් තිබීම ඔහු එයට ගොදුරු වීමට හේතු විය.මෙම බලාපොරොත්තු රහිත දුවද්දී දවා ගැනීමේ ආකාරයෙන් ඕස්ට්‍රේලියානු මාධ්‍ය කෝපාවිෂ්ඨ වී දොස් පවරන්නට විය. තවද මේ දවාගැනීමේ ආකාරය විනූ මන්කඩ් ගේ නමෙහි කොටසක් භාවිත කොට Mankading ලෙසින් හඳුන්වන්නට විය.අද වන විට අවස්ථා 4 බැගින් ටෙස්ට් තරග වලත් එක්දින ජාත්‍යන්තර තරග වලත් මේ ආකාරයට දවා ගැනීම් සිදුකර ඇත. පසු කාලීනව වන විට ක්‍රීඩාවේ ජීව ගුණය සැලකීමෙන් මෙවැනි ක්‍රමයට දවා ගැනීම් කරගැනීමට තිබූ  පැහැදිලි අවස්ථා තුනක් පමණ සිදු නොවීමට වගබලාගෙන ඇත. එයින් ප්‍රධානතම සිදුවීමක් ලෙස 1987 රිලයන්ස් ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේදී පකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති තරගයක පකිස්තානු පිලේ  අවසාන පිතිකරු ලෙස පන්දු යවන සීමා අන්තයේ සිටි සලීම් ජෆාර් Mankading ක්‍රමයට දවා ගැනීමට තිබූ අවස්ථාව ප්‍රයෝජනයට නොගත් කොදෙව් වේග පන්දු යවන්නකු වන කර්ට්නි වෝල්ශ්  ඔහුට නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකිරීම දැක්විය හැක.අවසානයේ එම තරගය පකිස්තානු පිල ජයග්‍රහණය කිරීමට සමත්විය.

බිල් බ්‍රවුන්
කෙසේ වෙතත් පන්දු යවන්නා නිල වශයෙන් සිදුකෙරෙන අනතුරු ඇඟවීම් කෙරෙහි තැකීමක් නොකොට දිගින් දිගටම පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරු තණතීරුව දිගේ පන්දු යැවීමට පෙර ඉදිරියට ගමන් කරන්නේ නම් ක්‍රීඩාවේ ජීව ගුණයට සැබෑ ලෙසම හානි කරන්නේ එම පිතිකරුවා විසිනි.ක්‍රීඩාවේ ජීව ගුණයේ නාමයෙන් අනතුරු ඇඟවීමකින් අනතුරුව ඒ සඳහා යොමුවීම සියළු දෙනා අනුමත කරන්නක් මිස ක්‍රිකට් නීති වලට අනුකූලව සීමා ඉර ඉක්මවා පන්දු යවන්නා පන්දුව යොමුකිරීමට පෙර එම අන්තයේ පිතිකරු ඉදිරියට ගොස් ඇති විට දවාගැනීමට අනතුරු ඇඟවීම් සිදුකල යුතු නැත.සචිත්‍ර හා ජොස් බට්ලර් අතර සිදුවූයේ පිතිකරු විසින් පන්දු යවන්නාගේ අනතුරු ඇඟවීම් කිසිත් ගණනකට නොගෙන දිගින් දිගටම සීම ඉර ඉක්මවා ඇවිද යාමෙන් ඇතිවූ සිදුවීමක අවසාන ප්‍රතිඵලයකි.ජොස් බට්ලර් ඊට පෙර පැවති සිව් වැනි තරගයේදී පවා ලකුණු විශාල ප්‍රමාණයක් මෙලෙස කල්තබා සීමාඉර ඉක්මවා ගොස් සිටිමින් ලබාගත් බව නිරීක්ෂණය කල බව නායක ඇන්ජලෝ මැතිව්ස් වරෙක අදහස් දක්වා තිබුනි.

මෙම ක්‍රමයට දවා ගැනීමේදී පවා විමසා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත. Mankading ක්‍රමයට දවා ගැනීම සම්බන්ද කරුණු ක්‍රිකට් නීති පොතේ අංක 42.15 යටතේ දක්වා ඇත.එහිදී සඳහන් වන්නේ පන්දු යවන්නා සීමාවට පැමිණ  ඉදිරි පියවර තබා පන්දුව යොමුකරන ඉරියව්වෙන්ම විකට්ටුව බිඳ දමා දවාගත නොහැකි බවයි. එනම් ඉදිරි පාදය තබා පන්දු යැවීමට පෙර පන්දුව යවන සීමාවට දිවවිත් ඉහළට පැන පන්දු යවන්නා පසු පාදය තබන තෙක් පමණක් ක්‍රියාත්මක වන පන්දු යැවීමේ ක්‍රියාවලිය ඇතුලත Mankading ක්‍රමයට දුවද්දී දවාගත හැක යන්නයි.

Monday, February 23, 2015

මයිකල් ජැක්සන් ගේ අපූරු සපත්තු ජෝඩුව


මියුනිච් නුවර පැවති ප්‍රසංගයකදී
1987 වසරේදී නිකුත්වූ මයිකල් ජැක්සන් ගේ Bad ගීත ඇල්බමයේ එන Smooth Criminal ගීතයේ වීඩියෝවෙහි එක්තරා අපූරු නර්තන වින්‍යාසයක් ඔහු විසින් යොදාගන්නා ලදී. නරඹන්නන් විශ්මයට පත්වන අයුරින් පොළවට දෙසට වඩාත් ඇලවී නැවත කෙලින් සිට ගැනීමේ අවස්ථාව දක්වා සිදුකෙරෙන මෙය ගුරුත්වයට එරෙහිව සිදුකෙරෙන චලනයක් හෙයින් Anti gravity lean (ප්‍රති ගුරුත්ව ඇලවීම) ලෙසින් ප්‍රචලිත විය. මයිකල් ජැක්සන් විසින් ගීතය ගයමින් නර්තනයේ යෙදෙන අතරතුර ප්‍රේක්ෂකයන් මවිත කරන මෙම ප්‍රති ගුරුත්ව ඇලවීම ප්‍රසිද්ධ වේදිකාවේ  සජීවීව කිසිදු රැහැනක ආධාරයෙන් සිදුනොකිරීම සඳහා වෙනත් උපක්‍රමයක් භාවිත කිරීමට ප්‍රයත්න දැරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස අපූරු සපත්තු මොඩලයක් ඔහුගේ මූලිකත්වයෙන් සහ මයිකල් බුෂ් සහ ඩෙනිස් ටොම්ප්කින්ස් නම් තවත් දෙදෙනෙකුගේ අදහස් වල එකතුවක් ලෙස බිහිවිය.

නව නිර්මාණයේ නිත්‍යානුකූල අයිතිය තහවුරු කර ගැනීම උදෙසා ජැක්සන් විසින් මේ සපත්තු මොඩලය සඳහා 1993 වසරේදී පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී.මෙම චලනයේදී සිදුවන ක්‍රියා පිළිවෙල මෙසේය.Smooth Criminal ගීතයේ ප්‍රති ගුරුත්ව ඇලවීම සිදුකල යුතු අවස්ථාවේදී වේදිකාවෙන් ඉහළට මතුවන තව් දෙකකට සපත්තු ජෝඩුවේ අඩිය පෙදෙසේ  පතුලෙහි ඇතුලට වන්නට සකසා ඇති විශේෂ සැකැස්ම සිරවන පරිදි මෙය සිදුකරන්නා තබා ගනී. ඉන් පසු තව්ව සපත්තුවේ විශේෂිත සැකසීමට සිරවීමෙන් ලැබෙන සමතුලිතතාවය උපයෝගී කරගෙන ඉදිරියේ වේදිකා තලය දෙසට වඩාත් ඇලවී නැවත මුල් පිහිටීමට පැමිණේ.ජැක්සන් සහ ඔහු සමඟ වේදිකාවේ නර්තනයේ යෙදෙන සහයකින් මෙය සිදුකරයි. ජැක්සන්ගේ අනෙකුත් ගීත ගයමින් නර්ථනයේ යෙදෙන අවස්ථා වල ඔහු පළඳින සපත්තු ජෝඩුවලට වඩා Smooth Criminal ගීතය සඳහා ඔහු විසින්  තරමක් වෙනස් සපත්තු ජෝඩුවක් භාවිත කරනු හොඳින් නිරීක්ෂණය කලවිට දැකගත හැකිවේ.

Wednesday, February 18, 2015

ඩයිනොසෝරයන්ගේ ලෝකය...

Jurassic Park චිත්‍රපටයේ Tyrannosaurus rex පහරදෙන අවස්ථාවක්
මීට වසර මිලියන ගණනාවකට පෙර මිහිමත දිවිගෙවූ අපූර්ව සත්ත්ව කොට්ඨාසයක් පිළිබඳ වැදගත් කරුණු රැසක් මෙම ලිපිය මඟින් ඉදිරිපත්කිරීමට මම අදහස් කරමි. මා කුඩා කල සිට සොයාබැලීමට සාකච්ඡාකිරීමට ඉතා ප්‍රියතාවයක් දැක්වූ මෙම විෂය ක්ෂේත්‍රය සඳහා උනන්දුව ඇතිකිරීමට මූලික පෙළඹවීම සිදුවූයේ කුඩා කල නැරඹූ Jurassic Park සිනමාපටය මඟිනි. එතැන් සිට ක්‍රමයෙන් මා ඒ ආශ්‍රිත නොයෙකුත් රූපවාහිනී සඟරාමය වැඩසටහන් නැරඹීමෙන් සහ පොතපත ඇසුරු කිරීමෙන් මෙම සත්ත්ව කාණ්ඩය පිළිබඳව යම් අදහසක් ඇති කරගැනීමටත් දැනුම්වත් වීමටත් හැකිවිය.මේ මිහිමත රජකල ඩයිනොසෝරයන් පිළිබඳයි.

ග්‍රීක භාෂාවෙන් ඩයිනොසෝරස් යන්නෙහි අර්ථය "Terrible Lizard " යන්නයි. නමුත් මෙම "Lizard" යන වදන සාම්ප්‍රදායිකව භාවිතට ගන්නක් මිස සත්‍යවශයෙන්ම එය ඩයිනොසෝරයන් සම්බන්දයෙන් නොගැළපේ.මන්ද ඩයිනොසෝරයන් තම උදරය තම පාද මතින් ඔසවා ගෙන ගමන් කිරීම සිදුකල නිසාය.විශාලත්වයෙන් කුඩා ප්‍රමාණයේ සිට මීටර් ගණනින් ඉතා දිග ටොන් ගණනින් ඉතා බරැති ඩයිනොසෝරයන් විසූහ.  මොවුන්ගෙන් ඇතැමෙක් බිහිසුණු මාංශ භක්ෂකයන් වූ අතර අනෙත් සත්ත්වයන් 
ජුරාසික් අවධියේදී විශාල වනාන්තර වැස්මක් තිබී ඇති බව සැලකේ.
සාමකාමීව දිවි ගෙවූ ශාක භක්ෂකයන්  විය. පෘථිවිය මෙතෙක් ගෙවා පැමිණි භූගෝල විද්‍යාත්මකව නම් කල යුග (Era) තුනක් සහ ගෙවෙමින් පවතින එක යුගයකි. ඒවා Precambrian , Paleozoic , Mesozoic , Cenozoic ලෙසයි. එයිනුත් ඩයිනොසෝරයන් මිහිමත රජකල යුගය නමින් Mesozoic වේ. එම යුගයද ප්‍රධාන අවධි (Periods) 3 කට බෙදා  වෙන් කෙරේ.එනම් Triassic, Jurassic, Cretaceous ලෙසින්ය. මෙම Mesozoic යුගය වසර මිලියන 155 කාලයක් පුරා විහිදී පැවතුණි. ඩයිනොසෝරයන් වඳවී  අද වන විට වසර මිලියන 65 පමණ කාලයක් ගතවී ඇත.උන්ගේ අස්ථි කොටස් එම කාලය පුරා පාෂාණීභූතව පවතී.විද්‍යාඥයන් මෙම ෆොසිල අධ්‍යයනය මඟින් එම සතුන් එදවස විසූ ආකාරය පිළිබඳ තොරතුරු තහවුරු කර ගනී.

ඩයිනොසෝරයන්ගේ පාෂාණීභූත ෆොසිල
        විද්‍යාත්මකව නම්කල ප්‍රථම ඩයිනොසෝරයා Megalosaurus (මෙගලොසෝරස්) නම් මාංශ භක්ෂක සත්ත්වයා වේ. එම නම් කිරීම 1824 වසරේදී විලියම් බක්ලන්ඩ් විසින් සිදුකරන ලදී.ලොව පුරා ඩයිනොසෝරයන් ගේ ෆොසිල හමුවූ ප්‍රධාන තැන් කිහිපයක් පවතී. ඒ අතර ආසියාවේ චීනය හා මොගෝලියාව, අප්‍රිකාවේ ටැන්සානියාව, උතුරු ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ සහ දකුණු ඇමෙරිකාවේ ආර්ජන්ටිනාව ප්‍රධාන තැනක් ගනී.මුල්ම ඩයිනොසෝරයන් මීට වසර මිලියන 220 කට පෙර බිහිවූ බව සැලකේ. ජලයේ බිහිවූ ඇතැම් ජීවීන් වසර දහස් ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩබිමට පැමිණීමේ ප්‍රයත්නයක ප්‍රතිඵලයක්  ලෙස  ඩයිනොසෝරයන් පරිණාමය විය. ඩයිනොසෝරයන් ඇතිවීමට හේතුවූ මුල් උරගයන් ලෙස Triassic අවධියේ විසූ Thecodont සත්ත්ව කොට්ඨාසය සැලකේ. මෙම සතුන් අනෙක් සමකාලීන උරගයන්ට සාපේක්ෂව උදරය ඔසවාගෙන ගමන් කර ඇති බවට සොයාගෙන ඇත.සියළු ඩයිනොසෝරයන් එකම කාලයේ ඇතිවූවන් නොවේ.එක් එක් යුගයන් හිදී එක් එක් සත්ත්වයන් ප්‍රමුඛතාවයට පත්වූ අතර ඇතැම් සතුන් ඇතැම් අවධි වලට පමණක් සීමා වී වඳවී අතුරුදන් විය.ඩයිනොසෝරයන්ට සමකාලීනව ගුවනේත් සාගරයේත් රජකම් කල සතුන් විශේෂ බොහොමයක් විය.ගුවනේ සැරිසරමින් කුඩා සතුන් ජලාශ වල මත්ස්‍යන් අනුභව කල සත්ත්වයන් Pterosaurs ලෙසින් වර්ගීකරණය කල අතර ,මුහුදේ දිවි ගෙවූ සත්ත්වයන් Plesiosaurs , Ichthyosaurs ලෙසින් වර්ගීකරණය වූ කාණ්ඩ විය.

Brachiosaurus නම් ශාක භක්ෂක දැවැන්තයා
ඩයිනෝසෝරයන් ප්‍රධාන වශයෙන් උන්ගේ උකුල්වල පිහිටීම මුල්කරගෙන උරග උකුල් (Saurischians) හා  පක්ෂී උකුල් (Ornithischians) ලෙසින් බෙදා වෙන් කෙරේ. මාංශ භක්ෂක ඩයිනොසෝරයන් Therapods ලෙසින් හැඳින්වෙන අතර මාංශ භක්ෂක ඩයිනොසෝරයන්ට උල් නිය, ප්‍රබල හකුපාඩා ලාක්ෂණික විය. එක් එක් අවධි සැලකීමේදී බල්ලෙකුගේ ප්‍රමාණයේ Raptor ඩයිනොසෝරයකු සිට ටොන් ගනනක් බරැති දැවැන්ත  Tyrannosaurus rex වැනි ඩයිනොසෝරයන් පරාසයක් පුරා මාංශ භක්ෂකයන් එකල ජීවත් විය.ශාක භක්ෂක ඩයිනොසෝරයන් Sauropods ලෙසින් හැඳින්වෙන අතර ශාක භක්ෂක ඩයිනොසෝරයන්ගේත් විවිධත්වය පරාසයක පැතිරී තිබිණි.නමුත් බොහෝ ශාක භක්ෂක ඩයිනෝසරයන් ඉතා දැවැන්ත ශරීර වලට හිමිකම් කීය.Brontosaurus, Diplodocus වැනි ශාක භක්ෂක සත්වයන්ට ඉතා දිගු බෙල්ල සහ ඉතා දිගු වල්ගය ලාක්ෂණික විය.ඇතැම් ශාක භක්ෂකයන්ට මාංශ භක්ෂකයන්ගෙන් බේරීමට උන්ගේ ශරීරයේ එක් එක් සැකැසීම් ස්වභාවිකව උරුමවී තිබුනි.ඊට උදාහරණ ලෙස Stegosaurus සත්ත්වයන්ගේ පිටේ තිබූ උල් කටු සැකැස්මද ,අං සහිත Ceratopsians සත්ත්වයන්ද,සිරුරේ තැටි මෙන් සැකසීමක් තිබූ Ankylosaurs සත්ත්වයන් දැක්විය හැක.
 
වසර මිලියන 65කට පෙර පෘථිවිය හා විශාල උල්කාපාතයක් ගැටීම
කෙසේ වෙතත් මෙම අපූර්ව සත්ත්වයන් මීට වසර මිලියන 65 කට පෙර සහමුලින්ම වඳවී තුරන් විය.මේ සඳහා හේතුවූවා යැයි සැක කෙරෙන කරුණු කිහිපයක් විද්‍යාඥයන් අතර පවතී.ඇතැමුන් පවසන පරිදි සිදුවූ හදිසි කාලගුණ උෂ්ණත්ව වෙනස්වීමක් දරාගැනීමට නිහැකිව මෙම චලතාපී සතුන් විනාශ වූ බව සැලකේ.නමුත් වඩාත්ම පිළිගත් මතය වන්නේ පෘථිවිය හා ගැටුනු විශාල උල්කාපාතයක් හේතුවෙන් මහා විනාශයක් සිදුවී එම ගැටුමෙන් ඉහල නැගුනු දූලි වළා පෘථිවි වායුගෝලය වසා දීර්ඝ කාලයක් පැතිර පැවතීමෙන් හිරු එළිය පොළව මතට වැටීම වැළකී ශාක ප්‍රභාසංස්ලේෂණය ඇණහිටීම හේතු කොටගෙන ශාක මියයාමත් ඒවා අනුභවකරන ශාක භක්ෂකයන් මියයාමත් ඒ හේතුවෙන් මාංශ භක්ෂකයන් මියයාමත්ය.

Monday, February 9, 2015

අනාගතයටත් රැකගත යුතු ලාක්ෂා කර්මාන්තය...

ලාක්ෂා කර්මාන්තය යනු වසර 400 පමණ පැරණි කර්මාන්තයකි.අතීතයේ මෙම කර්මාන්තය ආසියාවේ මෙන්ම යුරෝපයේද පැතිර පැවතිනි.නමුත් අද වන විට මෙය ආසියාවට පමණක් සීමා වී ඇත.අද වන විට මෙම කර්මාන්තය ලංකාව ඇතුලත්ව දකුණු ආසියාවේ සහ ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන වශයෙන් සිදුකෙරේ.ලංකාවේ මෙම කර්මාන්තය අදවන විට මාතලේ සහ දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශයන්ට සීමා වී ඇත.ලාක්ෂා යනු සංස්කෘත වදනකි.සැබවින්ම ලාක්ෂා කර්මාන්තය යනු නමින් ලාකඩ කර්මාන්තයයි.මෙම කර්මාන්තය ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ.ඒවා 
  1. නියපොතු වැඩ  
  2. පට්ටල් වැඩ           
ලෙස වේ.මෙහි නියපොතු වැඩ යනු ලංකාවට අනන්‍ය ක්‍රමයකි.අනෙක් ක්‍රමය සෙසු රට වලද දක්නට ලැබේ.ප්‍රධාන වශයෙන් මෙම ලාක්ෂා සාදා ගැනීමට ලාක්ෂා කෘමී විශේෂයන් (Lac Insects) උපකාරී වේ.එම සත්වයාගේ ශරීරයෙන් පිටවන ලාටු සුළඟ වැදී ඝනීභවනයට ලක්වීමෙන් ලාක්ෂා නිර්මාණය වේ.එම ලාක්ෂා දියකර වර්ණ සමඟ මුසුකර තලා පදම් කර ගැනීමෙන් ලාක්ෂා කැබලි නිර්මාණය කරයි.ප්‍රධාන වශයෙන් ගිනිසපු සහ ගන්සූරිය වැනි ශාක කොටස් ලාක්ෂා ආලේප කිරීම සඳහා භාවිත කෙරේ. ඒවා කපා පොතුගසා ලියවන පට්ටලයක  ආධාරයෙන් අවශ්‍ය හැඩය මතුකර ගැනීමෙන් පසු අත් යන්ත්‍රයකට දමා කරකැවීමෙන් වර්ණාලේපනය සිදුකරනු ලබයි. 

"නියපොතු වැඩ" ක්‍රමයේදී ලාකඩ අලේපිත භාණ්ඩ වල ලාකඩ කෙඳි මඟින් රටා යෙදීම සිදුවේ. ලාකඩ කෙඳි යනු වර්ණ යොදා තලා පදම් කිරීමෙන් හොඳින් ඇදෙන සුළු තත්වයට පත් ලාකඩ කැබලි පසුව  ඒවා ඉතා සිහින් නූල් සමූහයක් ආකාරයට පිළියෙල කරගත් සකස්කර ගැනීමකි . පන්කොලයපොල්තෙල් ආලේප කර භාණ්ඩය පිරිමැදීම මඟින් ඔපවත් කරගැනීම සිදුකරනු ලබයි . පසුව මෙම භාණ්ඩ වල කැටයම්  කපාගැනීම කටුවක් ආධාරයෙන් සිදුකරනු ලබයි. මෙසේ සාදා ගන්නා භාණ්ඩ අතර අළු බඳුන්. බටනලා,හැරමිටි,සේසත් බහුල වශයෙන් පවතී.රජ දවස සිට පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ මෙම කර්මාන්තය අද ඉතා සීමිත ප්‍රජාවක් නියැලී සිටින කලාවක් බවට පත්ව තිබේ. අනාගතය සඳහා මෙවැනි උරුමයන් රැක ගැනීම උදෙසා එම කර්මාන්තයේ නියැලී සිටින අය දිරිමත්වන ආකාරයේ වැඩ පිළිවෙලක් සිදුකෙරේ නම් එය ඉතා අගනේය.

Monday, February 2, 2015

එකම දැයක් වී මහ බලයක් වී පෙරටම යමු ලංකා...

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජාතික නිදහස් දිනය යෙදෙන මේ සමයේ ශ්‍රී ලාංකික වැසියන් ලෙස අප ලැබූ ජයග්‍රහණ සිහිකරනුයේ මහත් අභිමානයෙනි.වසර 3000 ක පමණ තහවුරු කරගත් ඉතිහාසයක්ද ඊටත් වසර දහස් ගණනක් පැරණි තහවුරු කර නොගත් ඉතිහාහසයකට උරුමකම් කියන අප මව්බිම ලෝකය විස්මිත කල දෑ බොහෝ සිදුකර ඇති බව අපි දනිමු.එය හුදෙක් ශ්‍රී ලාංකිකයෙක් ලෙස ජාතිමාමකත්වයෙන් පවසන්නක් නොව සැබෑවක් බව ඉතිහාසයෙන් අපට උරුම වූ අදටත් අපට දැකිය හැකි ඓතිහාසික ස්ථාන මොනවාට කියාපායි.අනේක විධ ජාතික ව්‍යසනයන් හමුවේ ඉතිහාසයේ සිටම නොසැලී තම අනන්‍යතාවය රකිනු වස් සිරිලක් පුතුන් දහස් ගණන් ලේ හෙලූ භූමියක් අපට උරුම වී ඇත.ඈත යුගයේ යක්ෂ,නාග,දේව,රකුස් යන සිව් හෙළයන් දිවි ගෙවූ අප රට තුල පසු කාලීනව මහා සංස්කෘතික පෙරළියකට ලක්වන්නේ බුදු දහම ලක්දිවට අරහත් මිහිඳු හිමියන් රැගෙන ඒමත් සමඟය.එතැන් සිට අද දක්වා ලොව අඛණ්ඩවම වැඩිම කලක් බුදු දහම රැගෙන එන ඉතිහාසය හිමි රට ලෙස සිරිලක සැලකේ. සිංහල ජාතිය රටේ ශිෂ්ටාචාරටයට මුල්වූ ඓතිහාසික ආගම වූ බුදු දහම වැලඳගෙන අද දක්වා රැකගෙන විත් ඇත.

අතීතයේ සිටම නොයෙක් ආක්‍රමණික ජාතීන් මෙරට සුවිශේෂී භූගෝලීය පිහිටීම හේතුකොට ගෙන ලංකාව තම ග්‍රහණයට නතු කර ගැනීමට මාන බැලීය. එය දකුණු ඉන්දියානුවගෙනුත් යුරෝපීයයන්ගෙනුත් වරින් වර සිදුවිය.යුරෝපීය ප්‍රබල ජාතියක් ආසියාවේදී ප්‍රථම වරට ලැබූ අන්තපරාජය සනිටුහන් කරමින් පෘතුගීසි හමුදා මෙරට තුලදී පස් වතාවකදී යුධ වැදී අන්තපරාජයට ලක්විය.අප රට ඉතිහාසයේ යම් අවස්ථාවලදී අරාජික හෝ ආක්‍රමණිකයන්ට නතුවී ඇත්නම් ඒ බොහෝවිට අප තුලම ඇතිවූ වූ අසමගිය හා පාලකයන් ගත් අඥාන තීරණ නිසාවෙනි.හිරු නොබසින අධිරාජ්‍ය ලෙසින් කිරුළු පැලඳ සිටි බ්‍රිත්‍යාන්‍යයන්ට පවා අප රට නතු කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවීය.වරින් වර ඇවිලුනු යුධ ගැටුම් වලදී ලක්වැසියන් පෙන්වූ රණකාමීත්වය ඉංග්‍රීසීන් පුදුමයට පත්කරවන ලදී.කෙසේ වුවත් රට තුලම ඇතිවූ අසමගිය රාජ්‍යත්වය කෙරෙහි වූ  කලකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉංග්‍රීසීන්ට ලක්දිව ගිවිසුමකින් පවරා දී යටත් විජිත්යක් බවට පත්වන තැනට කටයුතු සැලසුනි.නමුත් ඉංග්‍රීසීන් ගිවිසුමේ ප්‍රකාරව වැඩකටයුතු නොකරන බව ප්‍රමාදවී අවබෝධ කරගත් රට වැසියන් තම නිදහස උදෙසා 1818 ත් 1848 ත් ඉංග්‍රීසීන්ට එරෙහිව කැරළි ගැසූහ.ඒ සියළු කැරලි තුලදීත් පෙර සඳහන් කල සේම පාවාදීම් සිදුවිය.එම කැරලි වලදී කෝප වූ ඉංග්‍රීසි හමුදා  ප්‍රතිචාරයක් ලෙස ගම්මාන පිටින් මහා සංහාර සිදු කරන ලදී. වයස 18 ට වැඩි පිරිමින් ඌව වෙල්ලස්සේදී සංහාරයට ලක්වීම ඊට කදිම නිදසුනකි.

එක් එක් සියවස් හිදී නොයෙතුක් හේතූන් පාදක කොටගෙන මෙරටට පැමිණි විදේශික ජාතීන් ලක්දිව තම වාස භූමිය කොට ගෙන විසීමට පටන්ගත්හ.එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව බහුවාර්ගිකයන් සහ බහු ආගමිකයන් වෙසෙන රටක් බවට පත්විය.එම ජාතීන් පරම්පරාවෙන් පරම්පරාවට බොහෝ කලක් රටතුල අනුගත වීමෙන් සහ ඇතැම්විට අනෙකුත් ජාතීන් හා ආවාහ විවාහ වී මිශ්‍ර වී සම්භවය වීමෙන් ඔවුන් ක්‍රමයෙන් අනන්‍ය ශ්‍රී ලාංකික ජාතීන් ලෙස වඩාත් තහවුරු විය.මෙසේ සියවස් කිහිපයක් ගතවී වර්තමානයට පැමිණි විට අප රට තුල ජන වර්ග  විසි ගණනක් ජීවත් වන බව සැලකේ.20 වන සියවස පමණ වන විට ජාතිවාදයේ විසිකුරු බීජ ඉංග්‍රීසි පාලකයන්ගේ ආශිර්වාදය මත පතුරුවන්නට විය.පසුව එය නොයෙකුත් පුද්ගලයන් විසින් දේශපාලන ගුණ්ඩුවක් ලෙස භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපි වසර 30ක් පුරා ඇවිලුනු කුරිරු බෙදුම්වාදී යුද්ධයකට මැදිවීමු. නමුත් රණවිරුවන්ගේ අප්‍රතිහර්ත ධෛර්යය හා කැපකිරීම නිසා අද එම උවදුර පහව ගොස් ඇත.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ සුපිරි බිලියර්ඩ් ක්‍රීඩක M J M ලාෆිර්
අප රටේ කිතුගොස ලොව පුරා දසත පැතිරවීමේලා අප රටේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් ශ්‍රී ලාංකිකයන් ඉමහත් දායකත්වයක් සපයා ඇත. දේශපාලනය, කලාව , ක්‍රීඩාව , ආරක්ෂක අංශ යන සෑම අංශයක් විමසා බැලීමේදී කාහටත් මෙය ප්‍රත්‍යක්ශ වනු ඇත.අද අප රට වෙසෙන සියලු ජාතීන්ට මේ පොලවේ ඉපදුනු  මිනිසුන් ලෙස බොහෝ දක්ෂතා උපතින් ජානගතව රැගෙනවිත් තිබේ . ඉදිරියටද එය එසේම වනු ඇත.අප රට තුල සිටින සියළු ජන වර්ග එකිනෙකාගේ අනන්‍යතාවයන් කෙරෙහි ගරු කරමින් රටේ ඉතිහාසය මෙතෙක් ගලා ආ ආකාරය හොඳ හැටි විමසා බලා එහිදී සිදුවූ අඩුපාඩු හොඳහැටි අවබෝධ කොටගෙන තමා උපන් මාතෘ භූමියේ ස්වාධීනත්වය හා එහි අභිවෘද්ධිය උදෙසා කැපවුනු සියළු ජාතිකයන් ආදර්ශ කොට ගෙන මව් රට කෙරෙහි ස්නේහයෙන් සැබෑ පුරවැසියෙක් ලෙස ජීවත්වේනම් එමගින් ජාතික විරුවන් දහස් ගණනක් ජීවිත පුදා රැකගත් නිදහස පෙබරවාරි 4 වනදාට පමනක් නොව සදාකාලිකවම අර්ථවත් දෙයක් වනු ඇත.

අවසාන වශයෙන් මම අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනයක් හා සුනිල් ශාන්තයන් ගැයූ (පසුව අයිවෝ ඩෙනිස් මහතා විසින් මෙය ගායනය කරන ලදී.) ඔහුගේම තනු නිර්මාණයක් වූ මෙම ඉමිහිරි ගීතය සනිටුහන් කර තබමි.

දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

කන්දට කෙන්දට කොන්දට හුරුවී
රන් වන් අත සුරුවී
විපත පවා සැපතට හරවාලා
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු
නැඟැ නැඟැ යමු දියුණේ
බාධා වලටද බාධා ගෙනැ දී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වීර විකුම් පෑ ආදි මුතුන් ගිය
පාර අපේ උරුමේ
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැද
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

Friday, January 30, 2015

නවෝත්පාදනයෙන් ලොව දිනූ 3M සමාගම...

1902 දී පිහිටුවාගත් 3M සමාගම මුල් යුගයේදී "Minnesota Mining & Manufacturing Company" ලෙසින් හැඳින්වීය.මෙය ඇමෙරිකානු බහුජාතික සමාගමකි.මෙහි ආරම්භය සඳහා වෘත්තිකයන්  5 දෙනෙකුගේ දායකත්වය ලැබී ඇත.වෛද්‍යවරයෙක් (Dr .J. Danley Budd),නීතීඥයෙක් (John Dwan),දුම්රිය සේවයේ විධායකයන් දෙදෙනෙක් (Henry.S.Bryan & William.A.McGonagle) හා මාංශ ආහාර විකුණන වෙළඳ සමාගමක කළමණාකරුවෙක් (Hermon.W.Cable) මේ සඳහා ආරම්භයේදී මුදල් ආයෝජනය කර ඇත.

සමාගම ආරම්භ කල ගොඩනැගිල්ල
මුල් යුගයේදී සීරුම් කර්මාන්තයන් (Abrasive Industries) උදෙසා අවශ්‍ය වන වැලිකඩදාසි නිපදවීමට කොරන්ඩම්  සැපයීම මෙම සමාගම මඟින් සිදුවිය.ආරම්භයේදී ඉතා කුඩා පරිමාණයකින් සහ අඩු ගුණාත්මකභාවයකින් සැපයූ නමුත් ක්‍රමයෙන් කාලයත් සමඟ සැපයුම් දාමයක් දක්වා එය වැඩිදියුණු විය.සමාගමේ දියුණුවත් සමඟ නව ආයෝජකයින් ඒ වෙත ආකර්ෂණය වන්නට විය.එහෙයින් සමාගම මූල්‍යමය අතින් ස්ථාවර තත්වයකට පත්විය.පළමු ලෝක යුද්ධය ආරම්භයත් සමඟ යුධරථ අලුත් වැඩියාවට වැලි කඩදාසි සඳහා වූ ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යන්නට විය.1920 වසරේදී සමාගම මඟින් ලොව මුල්වරට ජලය කාන්දුනොවෙන වැලිකඩදාසිය නිපදවීමට සමත්විය.දෙවන ලෝක යුධ සමයේදී තවත් ඉදිරි පියවරක් ලෙස යුධ අවශ්‍යතා සඳහා භාණ්ඩ නිපදවීමවීමට සමාගම යොමුවිය. 1950 වසරේදී Thermo Fax පිටපත්කිරීමේ යාන්ත්‍රණය සමාගම මුල්වරට හඳුන්වාදෙනු ලැබිණි.  1950න් පසු 3M සමාගම ලොව පුරා තම මෙහෙයුම් පුළුල් කිරීමට සමත්විය. එහිදී ආරම්භයක් ලෙස කැනඩාව,මෙක්සිකෝව,ප්‍රංශය,ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය තෝරා ගැණිනි.

M79 ටේප් රෙකෝඩරයක්
70,80 දශක ආරම්භයත් සමඟ සමාගම තම භාණ්ඩ නිශ්පාදනයන් විවිධාංගීකරණය තුළින් ගෝලීය වෙළඳපොළ තුළ ව්‍යාප්තවීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.ඒ අනුව බෙහෙත් ද්‍රව්‍ය,විකිරණවේදය, ඉලෙක්ට්‍රොනික් තාක්ශණය, බලශක්තිය යන ක්ශේත්‍ර තුළ නව නිශ්පාදන කටයුතු ආරම්භ කරන ලදී. 3M සමගමේ Mini com අංශය ශබ්දාගාර තුළ පටිගතකිරීම් සඳහා චුම්භක පටි රෙකෝඩරයන් හඳුන්වාදෙන ලදී. ඔවුන්ගේ M79 රෙකොර්ඩරය මේ සඳහා උදාහරණයකි. එමෙන්ම ප්‍රථම ඩිජිටල් ශබ්ද පරිගතකිරීම් සඳහා සමාගමේ Mini com අංශය දායක විය.

Post-It
 3M සමාගම එම සමයේ හඳුන්වාදුන් විප්ලවීය නිපදවීමක් ලෙස Post- It පත්‍රිකා  හැඳින්විය හැක. Spencer Ferguson Silver සහ Arthur Fry යන දෙදෙනා එක්වීමෙන් මෙම නිර්මාණය බිහි කරන ලදී. එය ජනසමාජය හා වෙළඳපොළ තුළ ඉතා ඉහළ ආකර්ශණයක් අත්කරගැනීමට සමත්විය. මෙම ඇලෙන සුළු පිටුපසක් සහිත කුඩා පත්‍රිකා වර්තමානයේ ආයතන හා සමාගම් තුළ නැතිවම බැරි අංගයක් වී හමාරය. සිහිකැඳවීමක්,බඩු ලැයිස්තුවක් හෝ කුඩා සටහන් තැබීමක් මෙම පත්‍රිකා භාවිතයෙන් බහුලව සිදුකරගනු ලබයි. ඇලෙනසුළු පිටුපසක් තිබීම හේතුවෙන් අවශ්‍ය කරුණ සටහන් කර තැබූ පත්‍රිකාව අස්ථාන ගතවීම වළකියි.මෙය අද විවිධ හැඩයන්ගෙන් යුතුව මෙවැනි  නෝට්ටු වෙනත් සමාගම් මඟින් නිපදවීම සිදු කරයි.නමුත් මෙය හඳුන්වාදුන් සමාගම ලෙස 3M සමාගම පොදුවේ පැත්තක දිග 76mm වන ලෙසින් ඇලවෙන සුළු තීරුවක් පිටුපස තිබෙන ලෙස සමචතුරස්‍රාකාර හැඩැති කහ පැහැති (Canary yellow) නෝට්ටු ලෙසින් නිපදවයි.මේ සඳහා කහ පැහැය යොදාගැනීමට හේතුව අහම්බයෙන් සිදුවූවකි.එනම් මෙය නිපදවූ කණ්ඩායම මෙය මුල්වරට පරික්ෂා කිරීමට භාවිත කොට ඇත්තේ යාබද විද්‍යාගාරයේ තිබූ භාවිතයට නොගන්නා කහ පැහැති පත්‍රිකා වීමයි.
සමාගමේ නිල ලාංඡනය

1991 වසරේදී  3M සමාගමඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ආයෝජනය කරමින් ලොව පුරා තම කර්මාන්තශාලා 101 ක් වැඩිදියුණු කිරීමට පියවර ගන්නා ලදී. කම්කරු ශ්‍රමය අඩු කරමින් ස්වයංක්‍රීයකරණය වැඩිකිරීමද ඊට සමගාමීව ඔවුන් සිදුකරණ ලදී. සමාගමේ ජනප්‍රියතාවය සහ දියුණුව උදෙසා ඔවුන්ගේ නිශ්පාදනයන් අතර වූ ඇලවෙන Post - It නෝට්ටු, වැහුම් පටි,LCD රූපවාහිනී යන්ත්‍ර සඳහා වන ප්‍රකාශ පටල සහ නිවෙස් සඳහා අවශ්‍ය වන පිරිසිදු කිරීමේ උපකරණ ඉතා ඉවහල් විය. වර්තමානය වන විට සමාගම රටවල් 65 ක් තුළ තම මෙහෙයුම්  විද්‍යාගාර සහිතව  භාණ්ඩ නිශ්පාදන හැකියාවෙන් සමන්විත සමාගම් 35 ක සවි ශක්තියකින් යුතුව 132 ක ශාඛා ජාලයකින් හා රටවල් 200 පමණ වෙළඳ කාර්යාල ජාලයකින් සමන්විතව සිදුකරයි.ඔවුන් ලොව පුරා තම මෙහෙයුම් කාර්යය පහසුව තකා  ප්‍රදේශ 3කට බෙදා ඇත.ඒ


1 ආසියා පැසිෆික්
2 ලතින් ඇමෙරිකානු,අප්‍රිකා සහ කැනඩාව
3 යුරෝපය සහ මැදපෙරදිග 

ලෙසින්ය.මෙම සමාගම පරිණාමය වූ ආකාරය විමසා බලන්නෙකුට ගත හැකි කදිම ආදර්ශ ඇත.එනම් නවෝත්පාදනය හා ගෝලීය වෙළඳ පොල කළමණාකරණය සමබරව ගෙන යමින් ඒ ඒ යුගයන් හිදී සිදුකල යුතු පරිවර්තනයන් තේරුම් ගෙන ඒවා සිදුකරමින් ඉදිරියට යෑමෙන් ලෝකය ජයගතහැකිවන බවයි.

Thursday, January 29, 2015

ඩිලී...

සංගා මහේල යුගලය පසුගිය දශක එකහමාර කාලය තුල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා කල සේවය වචනයෙන් විස්තර කල නොහැක.ඔවුන් දෙදෙනා එක්ව ගොඩනැඟූ ලකුණු සබඳතා,වාර්ථා,ජයග්‍රාහී ඉනිම් ඒවාට කදිම නිදසුන්ය.ඔවුන් දෙදෙනා නායකත්වය දැරූ වකවානු තුල ලංකා කණ්ඩායම ඕවර 50 සහ විස්සයි විස්ස ලෝක කුසලාන දෙක බැගින් තරග 4 කදී (2007,2009,2011,2012) අවසාන මහාතරගය දක්වා පැමිණීමට සමත් විය.ඔවුන් දෙදෙනාම ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරගවලදී මුළු ලකුණු 10000 සම්පූර්ණ කර ඇත.නමුත් මෙහිදී මා කතා කිරීමට යන්නේ මෙම පතාකයන් දෙදෙනාගේ ප්‍රතිභාව හමුවේ සාපේක්ෂව මාධ්‍යයට ඇතැම් විට මඟහැරෙන තවත් දැවැන්තයෙකු ගැනයි.එනම් තිලකරත්න ඩිල්ෂාන් ය.ආක්‍රමණශීලී පිතිකරණය තම ප්‍රධාන අවිය කොටගත් ඩිල්ශාන් පිටියේ පන්දු රැකීමට අසීරු ස්ථානයන් හි පන්දු රකිමින් නිතරම පාහේ ප්‍රතිවාදීන්ගෙන් ලකුණු සැලකිය යුතු ප්‍රමාණයක් වලකාලයි.1999 වසරේ නොවැම්බර් මස ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් මොහු වයස 38ක් වුවත් තවමත් පොයින්ට් ප්‍රදේශයේ දුවමින් පනිමින් පන්දු රැකීමෙන් ඔහු පෙන්වන දක්ශතා තරුණ ක්‍රීඩකයන්ට කදිම ආදර්ශයකි.ටෙස්ට් තරගවල 40 කට වඩා පිතිකරන සාමාන්‍යයයක් ද එක්දින ජාත්‍යන්තර තරග වල 40 කට ආසන්න ඉහළ පිතිකරණ සාමාන්‍යයක්ද හිමි ඩිල්ශාන් දඟ පන්දුවෙන් පෙන්වන දක්ෂතා අමතක කල නොහැක.ප්‍රතිවාදීන් ප්‍රධාන පන්දුයවන්නන්ට දැඩිව පහර දෙනවිට ඉක්මන් කඩුල්ලක් ලබාගැනීමට ඩිල්ශාන් කැඳවීම අපි දැක ඇත්තෙමු.

Dilscoop පහර
මෑත කාලයේ පන්දු ඕවර 10 ම ඔහු විසින් දියත් නොකලත් මීට වසර 6-7 කට පෙර ඔහු නිත්‍ය දඟ පන්දුයවන්නෙක් මෙන් ඕවර 10 ම ක්‍රියාත්මක කොට ප්‍රතිවාදීන්ගේ ලකුණු වේගය අවම කල අවස්ථා අපි දැක ඇත්තෙමු.ආරම්භක පිතිකරුවෙක් ලෙස සනත් ජයසූරියගෙන් ඇරඹි වේගවත් ක්‍රීඩා විලාශය අප ඔහුගෙන් අද අත්විඳිමින් සිටී.2009 විස්සයි විස්ස ලෝක කුසලානයේ "තරගාවලියේ වීරයා" ද 2011 එක්දින ජාත්‍යන්තර ලෝක කුසලානයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කල පිතිකරුවා වූයේද ඩිල්ශාන්ය. ක්‍රිකට් පොතෙහි තමන්ගේ නමින් පහරක් ඇති ක්‍රීඩකයකු වේ නම් ඒ ඩිල්ශාන්ය (Dilscoop). එක්දින ජාත්‍යන්තර තරගවලදී මුළු ලකුණු 10000 සම්පූර්ණ කිරීමට ආසන්නව සිටින මෙම විශිෂ්ට ක්‍රීඩකයා කල තරග දෙස ආපසු හැරී බලන්නෙකුට ඔහු පිත්තෙන් හෝ පන්දුවෙන් හෝ පන්දු රැකීමෙන් කර ඇති සේවය මොනවාට විද්‍යමාන වේ.නමුත් එක් දෙයක් පැහැදිලිය.එනම් එළඹෙන 2015 එක්දින ජාත්‍යන්තර ලෝක කුසලානය තුල අප දැකීමට නියමිතව ඇත්තේ එක්තරා යුගයක් නියෝජනය කල ක්‍රිකට් විරුවන් තිදෙනෙකු ලංකා මතාව උදෙසා එකට එක්ව ක්‍රීඩා කරන අවසාන එක්දින තරගගාවලිය වන බවයි.