Thursday, January 29, 2015

ඩිලී...

සංගා මහේල යුගලය පසුගිය දශක එකහමාර කාලය තුල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා කල සේවය වචනයෙන් විස්තර කල නොහැක.ඔවුන් දෙදෙනා එක්ව ගොඩනැඟූ ලකුණු සබඳතා,වාර්ථා,ජයග්‍රාහී ඉනිම් ඒවාට කදිම නිදසුන්ය.ඔවුන් දෙදෙනා නායකත්වය දැරූ වකවානු තුල ලංකා කණ්ඩායම ඕවර 50 සහ විස්සයි විස්ස ලෝක කුසලාන දෙක බැගින් තරග 4 කදී (2007,2009,2011,2012) අවසාන මහාතරගය දක්වා පැමිණීමට සමත් විය.ඔවුන් දෙදෙනාම ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරගවලදී මුළු ලකුණු 10000 සම්පූර්ණ කර ඇත.නමුත් මෙහිදී මා කතා කිරීමට යන්නේ මෙම පතාකයන් දෙදෙනාගේ ප්‍රතිභාව හමුවේ සාපේක්ෂව මාධ්‍යයට ඇතැම් විට මඟහැරෙන තවත් දැවැන්තයෙකු ගැනයි.එනම් තිලකරත්න ඩිල්ෂාන් ය.ආක්‍රමණශීලී පිතිකරණය තම ප්‍රධාන අවිය කොටගත් ඩිල්ශාන් පිටියේ පන්දු රැකීමට අසීරු ස්ථානයන් හි පන්දු රකිමින් නිතරම පාහේ ප්‍රතිවාදීන්ගෙන් ලකුණු සැලකිය යුතු ප්‍රමාණයක් වලකාලයි.1999 වසරේ නොවැම්බර් මස ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් මොහු වයස 38ක් වුවත් තවමත් පොයින්ට් ප්‍රදේශයේ දුවමින් පනිමින් පන්දු රැකීමෙන් ඔහු පෙන්වන දක්ශතා තරුණ ක්‍රීඩකයන්ට කදිම ආදර්ශයකි.ටෙස්ට් තරගවල 40 කට වඩා පිතිකරන සාමාන්‍යයයක් ද එක්දින ජාත්‍යන්තර තරග වල 40 කට ආසන්න ඉහළ පිතිකරණ සාමාන්‍යයක්ද හිමි ඩිල්ශාන් දඟ පන්දුවෙන් පෙන්වන දක්ෂතා අමතක කල නොහැක.ප්‍රතිවාදීන් ප්‍රධාන පන්දුයවන්නන්ට දැඩිව පහර දෙනවිට ඉක්මන් කඩුල්ලක් ලබාගැනීමට ඩිල්ශාන් කැඳවීම අපි දැක ඇත්තෙමු.

Dilscoop පහර
මෑත කාලයේ පන්දු ඕවර 10 ම ඔහු විසින් දියත් නොකලත් මීට වසර 6-7 කට පෙර ඔහු නිත්‍ය දඟ පන්දුයවන්නෙක් මෙන් ඕවර 10 ම ක්‍රියාත්මක කොට ප්‍රතිවාදීන්ගේ ලකුණු වේගය අවම කල අවස්ථා අපි දැක ඇත්තෙමු.ආරම්භක පිතිකරුවෙක් ලෙස සනත් ජයසූරියගෙන් ඇරඹි වේගවත් ක්‍රීඩා විලාශය අප ඔහුගෙන් අද අත්විඳිමින් සිටී.2009 විස්සයි විස්ස ලෝක කුසලානයේ "තරගාවලියේ වීරයා" ද 2011 එක්දින ජාත්‍යන්තර ලෝක කුසලානයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කල පිතිකරුවා වූයේද ඩිල්ශාන්ය. ක්‍රිකට් පොතෙහි තමන්ගේ නමින් පහරක් ඇති ක්‍රීඩකයකු වේ නම් ඒ ඩිල්ශාන්ය (Dilscoop). එක්දින ජාත්‍යන්තර තරගවලදී මුළු ලකුණු 10000 සම්පූර්ණ කිරීමට ආසන්නව සිටින මෙම විශිෂ්ට ක්‍රීඩකයා කල තරග දෙස ආපසු හැරී බලන්නෙකුට ඔහු පිත්තෙන් හෝ පන්දුවෙන් හෝ පන්දු රැකීමෙන් කර ඇති සේවය මොනවාට විද්‍යමාන වේ.නමුත් එක් දෙයක් පැහැදිලිය.එනම් එළඹෙන 2015 එක්දින ජාත්‍යන්තර ලෝක කුසලානය තුල අප දැකීමට නියමිතව ඇත්තේ එක්තරා යුගයක් නියෝජනය කල ක්‍රිකට් විරුවන් තිදෙනෙකු ලංකා මතාව උදෙසා එකට එක්ව ක්‍රීඩා කරන අවසාන එක්දින තරගගාවලිය වන බවයි.

No comments:

Post a Comment