Tuesday, July 19, 2016

Channel 9 නාලිකාවේ සුප්‍රකට ක්‍රිකට් තේමා සංගීත වාදනය

සිනමා පටයක,රූපවාහිනී ටෙලි නාට්‍ය මාලාවක රූපවාහිනී වැඩසටහන් පෙළක තේමා සංගීතයට කල හැකි බලපෑම ඉමහත්ය.අදටත් ඇතැම් නිර්මාණයන් පිළිබඳ කතා කිරීමේදී එම නිර්මාණයේ තේමා සංගීතය ප්‍රේක්ෂක සිත් සතන් තුල තදින් කා වැදී තිබීම එම නිර්මාණයට චිරාත් කාලයක් ප්‍රේක්ෂකයන් ඇළුම් කිරීමට උත්ප්‍රේරක කාර්යය අනියමින් සපයා ඇති බවට පෙන්වීමට ඕනෑ තරම් උදාහරණ ගෙන හැර දැක්විය හැක.මෙම ලිපියෙන්  කතාකිරීමට බලාපොරොත්තු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හා සබැඳි අමතක නොවන එක්තරා සුවිශේෂී තේමා සංගීත වාදනයක් පිළිබඳවයි.

Channel 9 නාළිකාවේ නිල ලාංඡනය
ඕස්ට්‍රේලියාවේ "Nine Network" , නැතහොත් පොදුවේ කවුරුත් දන්නා පරිදි "Channel 9" නාලිකාව ඔස්සේ 1977 වසරේදී සජීවී විස්තර ප්‍රචාරණ සිදුකෙරුනු World Series Cricket (WSC) නම් වූ සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා Brian Bennett නම් එංගලන්ත ජාතික සගීතඥයා විසින්  1974 වසරේදී නිර්මාණය කර තිබූ New Horizon නම් සංගීත වාදනයේ කොටසක් තේමා සංගීත ඛණ්ඩය ලෙස ප්‍රථම වරට 1977 වසරේ නොවැම්බර් 24 වන දින World Series Cricket ටෙස්ට් තරගාවලිය ආරම්භයේදී ප්‍රථම වරට  විකාශනය කිරීම සිදුවිය.

Brian Bennett
WSC ටෙස්ට් තරගාවලිය 1979 වසරෙන් පසු නතරවූවත් එම තේමා සංගීත ඛණ්ඩය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයට කල බලපෑම ඉන් නතර නොවුනි. ඉන්පසු ඕස්ට්‍රේලියාව සහ වෙනත් රටක් ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග ක්‍රීඩා කරන අවස්ථාවන්හිදී එය Channel 9 නාලිකාවව ඔස්සේ විකාශනය කරන්නේ නම් තරගයට පෙරතුව නාලිකාව ඔස්සේ එය ආරම්භක තේමා සංගීත ඛණ්ඩය ලෙස ප්‍රචාරණය කිරීම සිදුවූ අතර ක්‍රමයෙන් මෙය ඕස්ට්‍රේලියානු ජනතාව මෙන්ම ලොව පුරා වෙසෙන ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ජනතාව අතර සුවිශේෂී අනන්‍යතාවයක් සහිත නිර්මාණයක් ලෙස ආකර්ෂණයට ලක්විය. අදටත් Channel 9 නාලිකාවව එම සම්ප්‍රදාය රැකගෙන එමින් ඔවුන්ගේ නාළිකාව හරහා සජීවී විස්තර ප්‍රචාරය සිදුකරන අන්තර්ජාතික ක්‍රිකට් තරග වලට පෙරතුව මෙය තේමා සංගීතය ලෙස භාවිත කරයි.

පහත දැක්වෙන්නේ මෙම තේමා ගීතය භාවිතා වූ විවිධ අවස්ථාවන්ට අදාළව අන්තර්ජාලයෙන් උපුටා ගත් නිදසුන් කිහිපයකි.

WSC තරගාවලියක තේමා සංගීතය භාවිත වූ අයුරු
ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියක තේමා සංගීතය භාවිත වූ අයුරු
ඕස්ට්‍රේලියාවේ පැවති අළු බඳුන තරගාවලියක තේමා ගීතය භාවිත වූ අයුරු