Thursday, February 26, 2015

Mankading...

සචිත්‍ර බට්ලර්ව දවාගත් අයුරු
2014 වසරේ ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරයේ දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පස්වැනි තරගයේ කා අතරත් කතාබහට ලක්වූ සිදූවීමක් විය. ඒ දඟ පන්දුයවන්නකු වන සචිත්‍ර සේනානායක් විසින් එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් දවා ගැනීමයි. මෙය සාමාන්‍ය ආකාරයේ දවාගැනීමක් නොවූ අතර ක්‍රිකට් ඉතිහාසයේ පැරණි සිදුවීමක පුනරාගමනයක් ලෙසින් විචාරකයන් කතාබහට ලක්කරන්නට විය.එම දවාගැනීමේ ක්‍රමය Mankading ලෙසින් හැඳින්වේ.මෙම ක්‍රමයේ ඉතිහාසයේ සිට අද දක්වා පැමිණ  ඇති ආකාරය අපි විමසා බලමු.

විනූ මන්කඩ්
1940/50 දශකයන්හි ක්‍රිකට් ක්‍රීඩා කල විනූ මන්කඩ් නම් ඉන්දියානු ක්‍රීඩකයෙක් විය.ඔහු පිතිකරුවෙක් මෙන්ම වමතින් පා දඟ පන්දු යනන්නෙක් විය.1947/1948 ඉන්දියානු පිලේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙදී ඕස්ට්‍රේලියානු පිතිකරු බිල් බ්‍රවුන් පන්දු යවන්නාගේ අන්තයේ සිටියදී දුවද්දී දවා ගැනීමට පන්දු යවමින් සිටි මන්කඩ් සමත්විය. පන්දු යවමින් සිටි අවස්ථාවේ පිතිකරු බිල් පන්දු යවන අන්තයේ සීමාව ඉක්මවා ගොස් තිබීම ඔහු එයට ගොදුරු වීමට හේතු විය.මෙම බලාපොරොත්තු රහිත දුවද්දී දවා ගැනීමේ ආකාරයෙන් ඕස්ට්‍රේලියානු මාධ්‍ය කෝපාවිෂ්ඨ වී දොස් පවරන්නට විය. තවද මේ දවාගැනීමේ ආකාරය විනූ මන්කඩ් ගේ නමෙහි කොටසක් භාවිත කොට Mankading ලෙසින් හඳුන්වන්නට විය.අද වන විට අවස්ථා 4 බැගින් ටෙස්ට් තරග වලත් එක්දින ජාත්‍යන්තර තරග වලත් මේ ආකාරයට දවා ගැනීම් සිදුකර ඇත. පසු කාලීනව වන විට ක්‍රීඩාවේ ජීව ගුණය සැලකීමෙන් මෙවැනි ක්‍රමයට දවා ගැනීම් කරගැනීමට තිබූ  පැහැදිලි අවස්ථා තුනක් පමණ සිදු නොවීමට වගබලාගෙන ඇත. එයින් ප්‍රධානතම සිදුවීමක් ලෙස 1987 රිලයන්ස් ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේදී පකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති තරගයක පකිස්තානු පිලේ  අවසාන පිතිකරු ලෙස පන්දු යවන සීමා අන්තයේ සිටි සලීම් ජෆාර් Mankading ක්‍රමයට දවා ගැනීමට තිබූ අවස්ථාව ප්‍රයෝජනයට නොගත් කොදෙව් වේග පන්දු යවන්නකු වන කර්ට්නි වෝල්ශ්  ඔහුට නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකිරීම දැක්විය හැක.අවසානයේ එම තරගය පකිස්තානු පිල ජයග්‍රහණය කිරීමට සමත්විය.

බිල් බ්‍රවුන්
කෙසේ වෙතත් පන්දු යවන්නා නිල වශයෙන් සිදුකෙරෙන අනතුරු ඇඟවීම් කෙරෙහි තැකීමක් නොකොට දිගින් දිගටම පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරු තණතීරුව දිගේ පන්දු යැවීමට පෙර ඉදිරියට ගමන් කරන්නේ නම් ක්‍රීඩාවේ ජීව ගුණයට සැබෑ ලෙසම හානි කරන්නේ එම පිතිකරුවා විසිනි.ක්‍රීඩාවේ ජීව ගුණයේ නාමයෙන් අනතුරු ඇඟවීමකින් අනතුරුව ඒ සඳහා යොමුවීම සියළු දෙනා අනුමත කරන්නක් මිස ක්‍රිකට් නීති වලට අනුකූලව සීමා ඉර ඉක්මවා පන්දු යවන්නා පන්දුව යොමුකිරීමට පෙර එම අන්තයේ පිතිකරු ඉදිරියට ගොස් ඇති විට දවාගැනීමට අනතුරු ඇඟවීම් සිදුකල යුතු නැත.සචිත්‍ර හා ජොස් බට්ලර් අතර සිදුවූයේ පිතිකරු විසින් පන්දු යවන්නාගේ අනතුරු ඇඟවීම් කිසිත් ගණනකට නොගෙන දිගින් දිගටම සීම ඉර ඉක්මවා ඇවිද යාමෙන් ඇතිවූ සිදුවීමක අවසාන ප්‍රතිඵලයකි.ජොස් බට්ලර් ඊට පෙර පැවති සිව් වැනි තරගයේදී පවා ලකුණු විශාල ප්‍රමාණයක් මෙලෙස කල්තබා සීමාඉර ඉක්මවා ගොස් සිටිමින් ලබාගත් බව නිරීක්ෂණය කල බව නායක ඇන්ජලෝ මැතිව්ස් වරෙක අදහස් දක්වා තිබුනි.

මෙම ක්‍රමයට දවා ගැනීමේදී පවා විමසා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත. Mankading ක්‍රමයට දවා ගැනීම සම්බන්ද කරුණු ක්‍රිකට් නීති පොතේ අංක 42.15 යටතේ දක්වා ඇත.එහිදී සඳහන් වන්නේ පන්දු යවන්නා සීමාවට පැමිණ  ඉදිරි පියවර තබා පන්දුව යොමුකරන ඉරියව්වෙන්ම විකට්ටුව බිඳ දමා දවාගත නොහැකි බවයි. එනම් ඉදිරි පාදය තබා පන්දු යැවීමට පෙර පන්දුව යවන සීමාවට දිවවිත් ඉහළට පැන පන්දු යවන්නා පසු පාදය තබන තෙක් පමණක් ක්‍රියාත්මක වන පන්දු යැවීමේ ක්‍රියාවලිය ඇතුලත Mankading ක්‍රමයට දුවද්දී දවාගත හැක යන්නයි.

Monday, February 23, 2015

මයිකල් ජැක්සන් ගේ අපූරු සපත්තු ජෝඩුව


මියුනිච් නුවර පැවති ප්‍රසංගයකදී
1987 වසරේදී නිකුත්වූ මයිකල් ජැක්සන් ගේ Bad ගීත ඇල්බමයේ එන Smooth Criminal ගීතයේ වීඩියෝවෙහි එක්තරා අපූරු නර්තන වින්‍යාසයක් ඔහු විසින් යොදාගන්නා ලදී. නරඹන්නන් විශ්මයට පත්වන අයුරින් පොළවට දෙසට වඩාත් ඇලවී නැවත කෙලින් සිට ගැනීමේ අවස්ථාව දක්වා සිදුකෙරෙන මෙය ගුරුත්වයට එරෙහිව සිදුකෙරෙන චලනයක් හෙයින් Anti gravity lean (ප්‍රති ගුරුත්ව ඇලවීම) ලෙසින් ප්‍රචලිත විය. මයිකල් ජැක්සන් විසින් ගීතය ගයමින් නර්තනයේ යෙදෙන අතරතුර ප්‍රේක්ෂකයන් මවිත කරන මෙම ප්‍රති ගුරුත්ව ඇලවීම ප්‍රසිද්ධ වේදිකාවේ  සජීවීව කිසිදු රැහැනක ආධාරයෙන් සිදුනොකිරීම සඳහා වෙනත් උපක්‍රමයක් භාවිත කිරීමට ප්‍රයත්න දැරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස අපූරු සපත්තු මොඩලයක් ඔහුගේ මූලිකත්වයෙන් සහ මයිකල් බුෂ් සහ ඩෙනිස් ටොම්ප්කින්ස් නම් තවත් දෙදෙනෙකුගේ අදහස් වල එකතුවක් ලෙස බිහිවිය.

නව නිර්මාණයේ නිත්‍යානුකූල අයිතිය තහවුරු කර ගැනීම උදෙසා ජැක්සන් විසින් මේ සපත්තු මොඩලය සඳහා 1993 වසරේදී පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී.මෙම චලනයේදී සිදුවන ක්‍රියා පිළිවෙල මෙසේය.Smooth Criminal ගීතයේ ප්‍රති ගුරුත්ව ඇලවීම සිදුකල යුතු අවස්ථාවේදී වේදිකාවෙන් ඉහළට මතුවන තව් දෙකකට සපත්තු ජෝඩුවේ අඩිය පෙදෙසේ  පතුලෙහි ඇතුලට වන්නට සකසා ඇති විශේෂ සැකැස්ම සිරවන පරිදි මෙය සිදුකරන්නා තබා ගනී. ඉන් පසු තව්ව සපත්තුවේ විශේෂිත සැකසීමට සිරවීමෙන් ලැබෙන සමතුලිතතාවය උපයෝගී කරගෙන ඉදිරියේ වේදිකා තලය දෙසට වඩාත් ඇලවී නැවත මුල් පිහිටීමට පැමිණේ.ජැක්සන් සහ ඔහු සමඟ වේදිකාවේ නර්තනයේ යෙදෙන සහයකින් මෙය සිදුකරයි. ජැක්සන්ගේ අනෙකුත් ගීත ගයමින් නර්ථනයේ යෙදෙන අවස්ථා වල ඔහු පළඳින සපත්තු ජෝඩුවලට වඩා Smooth Criminal ගීතය සඳහා ඔහු විසින්  තරමක් වෙනස් සපත්තු ජෝඩුවක් භාවිත කරනු හොඳින් නිරීක්ෂණය කලවිට දැකගත හැකිවේ.

Wednesday, February 18, 2015

ඩයිනොසෝරයන්ගේ ලෝකය...

Jurassic Park චිත්‍රපටයේ Tyrannosaurus rex පහරදෙන අවස්ථාවක්
මීට වසර මිලියන ගණනාවකට පෙර මිහිමත දිවිගෙවූ අපූර්ව සත්ත්ව කොට්ඨාසයක් පිළිබඳ වැදගත් කරුණු රැසක් මෙම ලිපිය මඟින් ඉදිරිපත්කිරීමට මම අදහස් කරමි. මා කුඩා කල සිට සොයාබැලීමට සාකච්ඡාකිරීමට ඉතා ප්‍රියතාවයක් දැක්වූ මෙම විෂය ක්ෂේත්‍රය සඳහා උනන්දුව ඇතිකිරීමට මූලික පෙළඹවීම සිදුවූයේ කුඩා කල නැරඹූ Jurassic Park සිනමාපටය මඟිනි. එතැන් සිට ක්‍රමයෙන් මා ඒ ආශ්‍රිත නොයෙකුත් රූපවාහිනී සඟරාමය වැඩසටහන් නැරඹීමෙන් සහ පොතපත ඇසුරු කිරීමෙන් මෙම සත්ත්ව කාණ්ඩය පිළිබඳව යම් අදහසක් ඇති කරගැනීමටත් දැනුම්වත් වීමටත් හැකිවිය.මේ මිහිමත රජකල ඩයිනොසෝරයන් පිළිබඳයි.

ග්‍රීක භාෂාවෙන් ඩයිනොසෝරස් යන්නෙහි අර්ථය "Terrible Lizard " යන්නයි. නමුත් මෙම "Lizard" යන වදන සාම්ප්‍රදායිකව භාවිතට ගන්නක් මිස සත්‍යවශයෙන්ම එය ඩයිනොසෝරයන් සම්බන්දයෙන් නොගැළපේ.මන්ද ඩයිනොසෝරයන් තම උදරය තම පාද මතින් ඔසවා ගෙන ගමන් කිරීම සිදුකල නිසාය.විශාලත්වයෙන් කුඩා ප්‍රමාණයේ සිට මීටර් ගණනින් ඉතා දිග ටොන් ගණනින් ඉතා බරැති ඩයිනොසෝරයන් විසූහ.  මොවුන්ගෙන් ඇතැමෙක් බිහිසුණු මාංශ භක්ෂකයන් වූ අතර අනෙත් සත්ත්වයන් 
ජුරාසික් අවධියේදී විශාල වනාන්තර වැස්මක් තිබී ඇති බව සැලකේ.
සාමකාමීව දිවි ගෙවූ ශාක භක්ෂකයන්  විය. පෘථිවිය මෙතෙක් ගෙවා පැමිණි භූගෝල විද්‍යාත්මකව නම් කල යුග (Era) තුනක් සහ ගෙවෙමින් පවතින එක යුගයකි. ඒවා Precambrian , Paleozoic , Mesozoic , Cenozoic ලෙසයි. එයිනුත් ඩයිනොසෝරයන් මිහිමත රජකල යුගය නමින් Mesozoic වේ. එම යුගයද ප්‍රධාන අවධි (Periods) 3 කට බෙදා  වෙන් කෙරේ.එනම් Triassic, Jurassic, Cretaceous ලෙසින්ය. මෙම Mesozoic යුගය වසර මිලියන 155 කාලයක් පුරා විහිදී පැවතුණි. ඩයිනොසෝරයන් වඳවී  අද වන විට වසර මිලියන 65 පමණ කාලයක් ගතවී ඇත.උන්ගේ අස්ථි කොටස් එම කාලය පුරා පාෂාණීභූතව පවතී.විද්‍යාඥයන් මෙම ෆොසිල අධ්‍යයනය මඟින් එම සතුන් එදවස විසූ ආකාරය පිළිබඳ තොරතුරු තහවුරු කර ගනී.

ඩයිනොසෝරයන්ගේ පාෂාණීභූත ෆොසිල
        විද්‍යාත්මකව නම්කල ප්‍රථම ඩයිනොසෝරයා Megalosaurus (මෙගලොසෝරස්) නම් මාංශ භක්ෂක සත්ත්වයා වේ. එම නම් කිරීම 1824 වසරේදී විලියම් බක්ලන්ඩ් විසින් සිදුකරන ලදී.ලොව පුරා ඩයිනොසෝරයන් ගේ ෆොසිල හමුවූ ප්‍රධාන තැන් කිහිපයක් පවතී. ඒ අතර ආසියාවේ චීනය හා මොගෝලියාව, අප්‍රිකාවේ ටැන්සානියාව, උතුරු ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ සහ දකුණු ඇමෙරිකාවේ ආර්ජන්ටිනාව ප්‍රධාන තැනක් ගනී.මුල්ම ඩයිනොසෝරයන් මීට වසර මිලියන 220 කට පෙර බිහිවූ බව සැලකේ. ජලයේ බිහිවූ ඇතැම් ජීවීන් වසර දහස් ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩබිමට පැමිණීමේ ප්‍රයත්නයක ප්‍රතිඵලයක්  ලෙස  ඩයිනොසෝරයන් පරිණාමය විය. ඩයිනොසෝරයන් ඇතිවීමට හේතුවූ මුල් උරගයන් ලෙස Triassic අවධියේ විසූ Thecodont සත්ත්ව කොට්ඨාසය සැලකේ. මෙම සතුන් අනෙක් සමකාලීන උරගයන්ට සාපේක්ෂව උදරය ඔසවාගෙන ගමන් කර ඇති බවට සොයාගෙන ඇත.සියළු ඩයිනොසෝරයන් එකම කාලයේ ඇතිවූවන් නොවේ.එක් එක් යුගයන් හිදී එක් එක් සත්ත්වයන් ප්‍රමුඛතාවයට පත්වූ අතර ඇතැම් සතුන් ඇතැම් අවධි වලට පමණක් සීමා වී වඳවී අතුරුදන් විය.ඩයිනොසෝරයන්ට සමකාලීනව ගුවනේත් සාගරයේත් රජකම් කල සතුන් විශේෂ බොහොමයක් විය.ගුවනේ සැරිසරමින් කුඩා සතුන් ජලාශ වල මත්ස්‍යන් අනුභව කල සත්ත්වයන් Pterosaurs ලෙසින් වර්ගීකරණය කල අතර ,මුහුදේ දිවි ගෙවූ සත්ත්වයන් Plesiosaurs , Ichthyosaurs ලෙසින් වර්ගීකරණය වූ කාණ්ඩ විය.

Brachiosaurus නම් ශාක භක්ෂක දැවැන්තයා
ඩයිනෝසෝරයන් ප්‍රධාන වශයෙන් උන්ගේ උකුල්වල පිහිටීම මුල්කරගෙන උරග උකුල් (Saurischians) හා  පක්ෂී උකුල් (Ornithischians) ලෙසින් බෙදා වෙන් කෙරේ. මාංශ භක්ෂක ඩයිනොසෝරයන් Therapods ලෙසින් හැඳින්වෙන අතර මාංශ භක්ෂක ඩයිනොසෝරයන්ට උල් නිය, ප්‍රබල හකුපාඩා ලාක්ෂණික විය. එක් එක් අවධි සැලකීමේදී බල්ලෙකුගේ ප්‍රමාණයේ Raptor ඩයිනොසෝරයකු සිට ටොන් ගනනක් බරැති දැවැන්ත  Tyrannosaurus rex වැනි ඩයිනොසෝරයන් පරාසයක් පුරා මාංශ භක්ෂකයන් එකල ජීවත් විය.ශාක භක්ෂක ඩයිනොසෝරයන් Sauropods ලෙසින් හැඳින්වෙන අතර ශාක භක්ෂක ඩයිනොසෝරයන්ගේත් විවිධත්වය පරාසයක පැතිරී තිබිණි.නමුත් බොහෝ ශාක භක්ෂක ඩයිනෝසරයන් ඉතා දැවැන්ත ශරීර වලට හිමිකම් කීය.Brontosaurus, Diplodocus වැනි ශාක භක්ෂක සත්වයන්ට ඉතා දිගු බෙල්ල සහ ඉතා දිගු වල්ගය ලාක්ෂණික විය.ඇතැම් ශාක භක්ෂකයන්ට මාංශ භක්ෂකයන්ගෙන් බේරීමට උන්ගේ ශරීරයේ එක් එක් සැකැසීම් ස්වභාවිකව උරුමවී තිබුනි.ඊට උදාහරණ ලෙස Stegosaurus සත්ත්වයන්ගේ පිටේ තිබූ උල් කටු සැකැස්මද ,අං සහිත Ceratopsians සත්ත්වයන්ද,සිරුරේ තැටි මෙන් සැකසීමක් තිබූ Ankylosaurs සත්ත්වයන් දැක්විය හැක.
 
වසර මිලියන 65කට පෙර පෘථිවිය හා විශාල උල්කාපාතයක් ගැටීම
කෙසේ වෙතත් මෙම අපූර්ව සත්ත්වයන් මීට වසර මිලියන 65 කට පෙර සහමුලින්ම වඳවී තුරන් විය.මේ සඳහා හේතුවූවා යැයි සැක කෙරෙන කරුණු කිහිපයක් විද්‍යාඥයන් අතර පවතී.ඇතැමුන් පවසන පරිදි සිදුවූ හදිසි කාලගුණ උෂ්ණත්ව වෙනස්වීමක් දරාගැනීමට නිහැකිව මෙම චලතාපී සතුන් විනාශ වූ බව සැලකේ.නමුත් වඩාත්ම පිළිගත් මතය වන්නේ පෘථිවිය හා ගැටුනු විශාල උල්කාපාතයක් හේතුවෙන් මහා විනාශයක් සිදුවී එම ගැටුමෙන් ඉහල නැගුනු දූලි වළා පෘථිවි වායුගෝලය වසා දීර්ඝ කාලයක් පැතිර පැවතීමෙන් හිරු එළිය පොළව මතට වැටීම වැළකී ශාක ප්‍රභාසංස්ලේෂණය ඇණහිටීම හේතු කොටගෙන ශාක මියයාමත් ඒවා අනුභවකරන ශාක භක්ෂකයන් මියයාමත් ඒ හේතුවෙන් මාංශ භක්ෂකයන් මියයාමත්ය.

Monday, February 9, 2015

අනාගතයටත් රැකගත යුතු ලාක්ෂා කර්මාන්තය...

ලාක්ෂා කර්මාන්තය යනු වසර 400 පමණ පැරණි කර්මාන්තයකි.අතීතයේ මෙම කර්මාන්තය ආසියාවේ මෙන්ම යුරෝපයේද පැතිර පැවතිනි.නමුත් අද වන විට මෙය ආසියාවට පමණක් සීමා වී ඇත.අද වන විට මෙම කර්මාන්තය ලංකාව ඇතුලත්ව දකුණු ආසියාවේ සහ ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන වශයෙන් සිදුකෙරේ.ලංකාවේ මෙම කර්මාන්තය අදවන විට මාතලේ සහ දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශයන්ට සීමා වී ඇත.ලාක්ෂා යනු සංස්කෘත වදනකි.සැබවින්ම ලාක්ෂා කර්මාන්තය යනු නමින් ලාකඩ කර්මාන්තයයි.මෙම කර්මාන්තය ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ.ඒවා 
  1. නියපොතු වැඩ  
  2. පට්ටල් වැඩ           
ලෙස වේ.මෙහි නියපොතු වැඩ යනු ලංකාවට අනන්‍ය ක්‍රමයකි.අනෙක් ක්‍රමය සෙසු රට වලද දක්නට ලැබේ.ප්‍රධාන වශයෙන් මෙම ලාක්ෂා සාදා ගැනීමට ලාක්ෂා කෘමී විශේෂයන් (Lac Insects) උපකාරී වේ.එම සත්වයාගේ ශරීරයෙන් පිටවන ලාටු සුළඟ වැදී ඝනීභවනයට ලක්වීමෙන් ලාක්ෂා නිර්මාණය වේ.එම ලාක්ෂා දියකර වර්ණ සමඟ මුසුකර තලා පදම් කර ගැනීමෙන් ලාක්ෂා කැබලි නිර්මාණය කරයි.ප්‍රධාන වශයෙන් ගිනිසපු සහ ගන්සූරිය වැනි ශාක කොටස් ලාක්ෂා ආලේප කිරීම සඳහා භාවිත කෙරේ. ඒවා කපා පොතුගසා ලියවන පට්ටලයක  ආධාරයෙන් අවශ්‍ය හැඩය මතුකර ගැනීමෙන් පසු අත් යන්ත්‍රයකට දමා කරකැවීමෙන් වර්ණාලේපනය සිදුකරනු ලබයි. 

"නියපොතු වැඩ" ක්‍රමයේදී ලාකඩ අලේපිත භාණ්ඩ වල ලාකඩ කෙඳි මඟින් රටා යෙදීම සිදුවේ. ලාකඩ කෙඳි යනු වර්ණ යොදා තලා පදම් කිරීමෙන් හොඳින් ඇදෙන සුළු තත්වයට පත් ලාකඩ කැබලි පසුව  ඒවා ඉතා සිහින් නූල් සමූහයක් ආකාරයට පිළියෙල කරගත් සකස්කර ගැනීමකි . පන්කොලයපොල්තෙල් ආලේප කර භාණ්ඩය පිරිමැදීම මඟින් ඔපවත් කරගැනීම සිදුකරනු ලබයි . පසුව මෙම භාණ්ඩ වල කැටයම්  කපාගැනීම කටුවක් ආධාරයෙන් සිදුකරනු ලබයි. මෙසේ සාදා ගන්නා භාණ්ඩ අතර අළු බඳුන්. බටනලා,හැරමිටි,සේසත් බහුල වශයෙන් පවතී.රජ දවස සිට පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ මෙම කර්මාන්තය අද ඉතා සීමිත ප්‍රජාවක් නියැලී සිටින කලාවක් බවට පත්ව තිබේ. අනාගතය සඳහා මෙවැනි උරුමයන් රැක ගැනීම උදෙසා එම කර්මාන්තයේ නියැලී සිටින අය දිරිමත්වන ආකාරයේ වැඩ පිළිවෙලක් සිදුකෙරේ නම් එය ඉතා අගනේය.

Monday, February 2, 2015

එකම දැයක් වී මහ බලයක් වී පෙරටම යමු ලංකා...

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජාතික නිදහස් දිනය යෙදෙන මේ සමයේ ශ්‍රී ලාංකික වැසියන් ලෙස අප ලැබූ ජයග්‍රහණ සිහිකරනුයේ මහත් අභිමානයෙනි.වසර 3000 ක පමණ තහවුරු කරගත් ඉතිහාසයක්ද ඊටත් වසර දහස් ගණනක් පැරණි තහවුරු කර නොගත් ඉතිහාහසයකට උරුමකම් කියන අප මව්බිම ලෝකය විස්මිත කල දෑ බොහෝ සිදුකර ඇති බව අපි දනිමු.එය හුදෙක් ශ්‍රී ලාංකිකයෙක් ලෙස ජාතිමාමකත්වයෙන් පවසන්නක් නොව සැබෑවක් බව ඉතිහාසයෙන් අපට උරුම වූ අදටත් අපට දැකිය හැකි ඓතිහාසික ස්ථාන මොනවාට කියාපායි.අනේක විධ ජාතික ව්‍යසනයන් හමුවේ ඉතිහාසයේ සිටම නොසැලී තම අනන්‍යතාවය රකිනු වස් සිරිලක් පුතුන් දහස් ගණන් ලේ හෙලූ භූමියක් අපට උරුම වී ඇත.ඈත යුගයේ යක්ෂ,නාග,දේව,රකුස් යන සිව් හෙළයන් දිවි ගෙවූ අප රට තුල පසු කාලීනව මහා සංස්කෘතික පෙරළියකට ලක්වන්නේ බුදු දහම ලක්දිවට අරහත් මිහිඳු හිමියන් රැගෙන ඒමත් සමඟය.එතැන් සිට අද දක්වා ලොව අඛණ්ඩවම වැඩිම කලක් බුදු දහම රැගෙන එන ඉතිහාසය හිමි රට ලෙස සිරිලක සැලකේ. සිංහල ජාතිය රටේ ශිෂ්ටාචාරටයට මුල්වූ ඓතිහාසික ආගම වූ බුදු දහම වැලඳගෙන අද දක්වා රැකගෙන විත් ඇත.

අතීතයේ සිටම නොයෙක් ආක්‍රමණික ජාතීන් මෙරට සුවිශේෂී භූගෝලීය පිහිටීම හේතුකොට ගෙන ලංකාව තම ග්‍රහණයට නතු කර ගැනීමට මාන බැලීය. එය දකුණු ඉන්දියානුවගෙනුත් යුරෝපීයයන්ගෙනුත් වරින් වර සිදුවිය.යුරෝපීය ප්‍රබල ජාතියක් ආසියාවේදී ප්‍රථම වරට ලැබූ අන්තපරාජය සනිටුහන් කරමින් පෘතුගීසි හමුදා මෙරට තුලදී පස් වතාවකදී යුධ වැදී අන්තපරාජයට ලක්විය.අප රට ඉතිහාසයේ යම් අවස්ථාවලදී අරාජික හෝ ආක්‍රමණිකයන්ට නතුවී ඇත්නම් ඒ බොහෝවිට අප තුලම ඇතිවූ වූ අසමගිය හා පාලකයන් ගත් අඥාන තීරණ නිසාවෙනි.හිරු නොබසින අධිරාජ්‍ය ලෙසින් කිරුළු පැලඳ සිටි බ්‍රිත්‍යාන්‍යයන්ට පවා අප රට නතු කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවීය.වරින් වර ඇවිලුනු යුධ ගැටුම් වලදී ලක්වැසියන් පෙන්වූ රණකාමීත්වය ඉංග්‍රීසීන් පුදුමයට පත්කරවන ලදී.කෙසේ වුවත් රට තුලම ඇතිවූ අසමගිය රාජ්‍යත්වය කෙරෙහි වූ  කලකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉංග්‍රීසීන්ට ලක්දිව ගිවිසුමකින් පවරා දී යටත් විජිත්යක් බවට පත්වන තැනට කටයුතු සැලසුනි.නමුත් ඉංග්‍රීසීන් ගිවිසුමේ ප්‍රකාරව වැඩකටයුතු නොකරන බව ප්‍රමාදවී අවබෝධ කරගත් රට වැසියන් තම නිදහස උදෙසා 1818 ත් 1848 ත් ඉංග්‍රීසීන්ට එරෙහිව කැරළි ගැසූහ.ඒ සියළු කැරලි තුලදීත් පෙර සඳහන් කල සේම පාවාදීම් සිදුවිය.එම කැරලි වලදී කෝප වූ ඉංග්‍රීසි හමුදා  ප්‍රතිචාරයක් ලෙස ගම්මාන පිටින් මහා සංහාර සිදු කරන ලදී. වයස 18 ට වැඩි පිරිමින් ඌව වෙල්ලස්සේදී සංහාරයට ලක්වීම ඊට කදිම නිදසුනකි.

එක් එක් සියවස් හිදී නොයෙතුක් හේතූන් පාදක කොටගෙන මෙරටට පැමිණි විදේශික ජාතීන් ලක්දිව තම වාස භූමිය කොට ගෙන විසීමට පටන්ගත්හ.එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව බහුවාර්ගිකයන් සහ බහු ආගමිකයන් වෙසෙන රටක් බවට පත්විය.එම ජාතීන් පරම්පරාවෙන් පරම්පරාවට බොහෝ කලක් රටතුල අනුගත වීමෙන් සහ ඇතැම්විට අනෙකුත් ජාතීන් හා ආවාහ විවාහ වී මිශ්‍ර වී සම්භවය වීමෙන් ඔවුන් ක්‍රමයෙන් අනන්‍ය ශ්‍රී ලාංකික ජාතීන් ලෙස වඩාත් තහවුරු විය.මෙසේ සියවස් කිහිපයක් ගතවී වර්තමානයට පැමිණි විට අප රට තුල ජන වර්ග  විසි ගණනක් ජීවත් වන බව සැලකේ.20 වන සියවස පමණ වන විට ජාතිවාදයේ විසිකුරු බීජ ඉංග්‍රීසි පාලකයන්ගේ ආශිර්වාදය මත පතුරුවන්නට විය.පසුව එය නොයෙකුත් පුද්ගලයන් විසින් දේශපාලන ගුණ්ඩුවක් ලෙස භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපි වසර 30ක් පුරා ඇවිලුනු කුරිරු බෙදුම්වාදී යුද්ධයකට මැදිවීමු. නමුත් රණවිරුවන්ගේ අප්‍රතිහර්ත ධෛර්යය හා කැපකිරීම නිසා අද එම උවදුර පහව ගොස් ඇත.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ සුපිරි බිලියර්ඩ් ක්‍රීඩක M J M ලාෆිර්
අප රටේ කිතුගොස ලොව පුරා දසත පැතිරවීමේලා අප රටේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් ශ්‍රී ලාංකිකයන් ඉමහත් දායකත්වයක් සපයා ඇත. දේශපාලනය, කලාව , ක්‍රීඩාව , ආරක්ෂක අංශ යන සෑම අංශයක් විමසා බැලීමේදී කාහටත් මෙය ප්‍රත්‍යක්ශ වනු ඇත.අද අප රට වෙසෙන සියලු ජාතීන්ට මේ පොලවේ ඉපදුනු  මිනිසුන් ලෙස බොහෝ දක්ෂතා උපතින් ජානගතව රැගෙනවිත් තිබේ . ඉදිරියටද එය එසේම වනු ඇත.අප රට තුල සිටින සියළු ජන වර්ග එකිනෙකාගේ අනන්‍යතාවයන් කෙරෙහි ගරු කරමින් රටේ ඉතිහාසය මෙතෙක් ගලා ආ ආකාරය හොඳ හැටි විමසා බලා එහිදී සිදුවූ අඩුපාඩු හොඳහැටි අවබෝධ කොටගෙන තමා උපන් මාතෘ භූමියේ ස්වාධීනත්වය හා එහි අභිවෘද්ධිය උදෙසා කැපවුනු සියළු ජාතිකයන් ආදර්ශ කොට ගෙන මව් රට කෙරෙහි ස්නේහයෙන් සැබෑ පුරවැසියෙක් ලෙස ජීවත්වේනම් එමගින් ජාතික විරුවන් දහස් ගණනක් ජීවිත පුදා රැකගත් නිදහස පෙබරවාරි 4 වනදාට පමනක් නොව සදාකාලිකවම අර්ථවත් දෙයක් වනු ඇත.

අවසාන වශයෙන් මම අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනයක් හා සුනිල් ශාන්තයන් ගැයූ (පසුව අයිවෝ ඩෙනිස් මහතා විසින් මෙය ගායනය කරන ලදී.) ඔහුගේම තනු නිර්මාණයක් වූ මෙම ඉමිහිරි ගීතය සනිටුහන් කර තබමි.

දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

කන්දට කෙන්දට කොන්දට හුරුවී
රන් වන් අත සුරුවී
විපත පවා සැපතට හරවාලා
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු
නැඟැ නැඟැ යමු දියුණේ
බාධා වලටද බාධා ගෙනැ දී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වීර විකුම් පෑ ආදි මුතුන් ගිය
පාර අපේ උරුමේ
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැද
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ