Friday, January 30, 2015

නවෝත්පාදනයෙන් ලොව දිනූ 3M සමාගම...

1902 දී පිහිටුවාගත් 3M සමාගම මුල් යුගයේදී "Minnesota Mining & Manufacturing Company" ලෙසින් හැඳින්වීය.මෙය ඇමෙරිකානු බහුජාතික සමාගමකි.මෙහි ආරම්භය සඳහා වෘත්තිකයන්  5 දෙනෙකුගේ දායකත්වය ලැබී ඇත.වෛද්‍යවරයෙක් (Dr .J. Danley Budd),නීතීඥයෙක් (John Dwan),දුම්රිය සේවයේ විධායකයන් දෙදෙනෙක් (Henry.S.Bryan & William.A.McGonagle) හා මාංශ ආහාර විකුණන වෙළඳ සමාගමක කළමණාකරුවෙක් (Hermon.W.Cable) මේ සඳහා ආරම්භයේදී මුදල් ආයෝජනය කර ඇත.

සමාගම ආරම්භ කල ගොඩනැගිල්ල
මුල් යුගයේදී සීරුම් කර්මාන්තයන් (Abrasive Industries) උදෙසා අවශ්‍ය වන වැලිකඩදාසි නිපදවීමට කොරන්ඩම්  සැපයීම මෙම සමාගම මඟින් සිදුවිය.ආරම්භයේදී ඉතා කුඩා පරිමාණයකින් සහ අඩු ගුණාත්මකභාවයකින් සැපයූ නමුත් ක්‍රමයෙන් කාලයත් සමඟ සැපයුම් දාමයක් දක්වා එය වැඩිදියුණු විය.සමාගමේ දියුණුවත් සමඟ නව ආයෝජකයින් ඒ වෙත ආකර්ෂණය වන්නට විය.එහෙයින් සමාගම මූල්‍යමය අතින් ස්ථාවර තත්වයකට පත්විය.පළමු ලෝක යුද්ධය ආරම්භයත් සමඟ යුධරථ අලුත් වැඩියාවට වැලි කඩදාසි සඳහා වූ ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යන්නට විය.1920 වසරේදී සමාගම මඟින් ලොව මුල්වරට ජලය කාන්දුනොවෙන වැලිකඩදාසිය නිපදවීමට සමත්විය.දෙවන ලෝක යුධ සමයේදී තවත් ඉදිරි පියවරක් ලෙස යුධ අවශ්‍යතා සඳහා භාණ්ඩ නිපදවීමවීමට සමාගම යොමුවිය. 1950 වසරේදී Thermo Fax පිටපත්කිරීමේ යාන්ත්‍රණය සමාගම මුල්වරට හඳුන්වාදෙනු ලැබිණි.  1950න් පසු 3M සමාගම ලොව පුරා තම මෙහෙයුම් පුළුල් කිරීමට සමත්විය. එහිදී ආරම්භයක් ලෙස කැනඩාව,මෙක්සිකෝව,ප්‍රංශය,ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය තෝරා ගැණිනි.

M79 ටේප් රෙකෝඩරයක්
70,80 දශක ආරම්භයත් සමඟ සමාගම තම භාණ්ඩ නිශ්පාදනයන් විවිධාංගීකරණය තුළින් ගෝලීය වෙළඳපොළ තුළ ව්‍යාප්තවීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.ඒ අනුව බෙහෙත් ද්‍රව්‍ය,විකිරණවේදය, ඉලෙක්ට්‍රොනික් තාක්ශණය, බලශක්තිය යන ක්ශේත්‍ර තුළ නව නිශ්පාදන කටයුතු ආරම්භ කරන ලදී. 3M සමගමේ Mini com අංශය ශබ්දාගාර තුළ පටිගතකිරීම් සඳහා චුම්භක පටි රෙකෝඩරයන් හඳුන්වාදෙන ලදී. ඔවුන්ගේ M79 රෙකොර්ඩරය මේ සඳහා උදාහරණයකි. එමෙන්ම ප්‍රථම ඩිජිටල් ශබ්ද පරිගතකිරීම් සඳහා සමාගමේ Mini com අංශය දායක විය.

Post-It
 3M සමාගම එම සමයේ හඳුන්වාදුන් විප්ලවීය නිපදවීමක් ලෙස Post- It පත්‍රිකා  හැඳින්විය හැක. Spencer Ferguson Silver සහ Arthur Fry යන දෙදෙනා එක්වීමෙන් මෙම නිර්මාණය බිහි කරන ලදී. එය ජනසමාජය හා වෙළඳපොළ තුළ ඉතා ඉහළ ආකර්ශණයක් අත්කරගැනීමට සමත්විය. මෙම ඇලෙන සුළු පිටුපසක් සහිත කුඩා පත්‍රිකා වර්තමානයේ ආයතන හා සමාගම් තුළ නැතිවම බැරි අංගයක් වී හමාරය. සිහිකැඳවීමක්,බඩු ලැයිස්තුවක් හෝ කුඩා සටහන් තැබීමක් මෙම පත්‍රිකා භාවිතයෙන් බහුලව සිදුකරගනු ලබයි. ඇලෙනසුළු පිටුපසක් තිබීම හේතුවෙන් අවශ්‍ය කරුණ සටහන් කර තැබූ පත්‍රිකාව අස්ථාන ගතවීම වළකියි.මෙය අද විවිධ හැඩයන්ගෙන් යුතුව මෙවැනි  නෝට්ටු වෙනත් සමාගම් මඟින් නිපදවීම සිදු කරයි.නමුත් මෙය හඳුන්වාදුන් සමාගම ලෙස 3M සමාගම පොදුවේ පැත්තක දිග 76mm වන ලෙසින් ඇලවෙන සුළු තීරුවක් පිටුපස තිබෙන ලෙස සමචතුරස්‍රාකාර හැඩැති කහ පැහැති (Canary yellow) නෝට්ටු ලෙසින් නිපදවයි.මේ සඳහා කහ පැහැය යොදාගැනීමට හේතුව අහම්බයෙන් සිදුවූවකි.එනම් මෙය නිපදවූ කණ්ඩායම මෙය මුල්වරට පරික්ෂා කිරීමට භාවිත කොට ඇත්තේ යාබද විද්‍යාගාරයේ තිබූ භාවිතයට නොගන්නා කහ පැහැති පත්‍රිකා වීමයි.
සමාගමේ නිල ලාංඡනය

1991 වසරේදී  3M සමාගමඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ආයෝජනය කරමින් ලොව පුරා තම කර්මාන්තශාලා 101 ක් වැඩිදියුණු කිරීමට පියවර ගන්නා ලදී. කම්කරු ශ්‍රමය අඩු කරමින් ස්වයංක්‍රීයකරණය වැඩිකිරීමද ඊට සමගාමීව ඔවුන් සිදුකරණ ලදී. සමාගමේ ජනප්‍රියතාවය සහ දියුණුව උදෙසා ඔවුන්ගේ නිශ්පාදනයන් අතර වූ ඇලවෙන Post - It නෝට්ටු, වැහුම් පටි,LCD රූපවාහිනී යන්ත්‍ර සඳහා වන ප්‍රකාශ පටල සහ නිවෙස් සඳහා අවශ්‍ය වන පිරිසිදු කිරීමේ උපකරණ ඉතා ඉවහල් විය. වර්තමානය වන විට සමාගම රටවල් 65 ක් තුළ තම මෙහෙයුම්  විද්‍යාගාර සහිතව  භාණ්ඩ නිශ්පාදන හැකියාවෙන් සමන්විත සමාගම් 35 ක සවි ශක්තියකින් යුතුව 132 ක ශාඛා ජාලයකින් හා රටවල් 200 පමණ වෙළඳ කාර්යාල ජාලයකින් සමන්විතව සිදුකරයි.ඔවුන් ලොව පුරා තම මෙහෙයුම් කාර්යය පහසුව තකා  ප්‍රදේශ 3කට බෙදා ඇත.ඒ


1 ආසියා පැසිෆික්
2 ලතින් ඇමෙරිකානු,අප්‍රිකා සහ කැනඩාව
3 යුරෝපය සහ මැදපෙරදිග 

ලෙසින්ය.මෙම සමාගම පරිණාමය වූ ආකාරය විමසා බලන්නෙකුට ගත හැකි කදිම ආදර්ශ ඇත.එනම් නවෝත්පාදනය හා ගෝලීය වෙළඳ පොල කළමණාකරණය සමබරව ගෙන යමින් ඒ ඒ යුගයන් හිදී සිදුකල යුතු පරිවර්තනයන් තේරුම් ගෙන ඒවා සිදුකරමින් ඉදිරියට යෑමෙන් ලෝකය ජයගතහැකිවන බවයි.

No comments:

Post a Comment