Thursday, February 26, 2015

Mankading...

සචිත්‍ර බට්ලර්ව දවාගත් අයුරු
2014 වසරේ ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරයේ දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පස්වැනි තරගයේ කා අතරත් කතාබහට ලක්වූ සිදූවීමක් විය. ඒ දඟ පන්දුයවන්නකු වන සචිත්‍ර සේනානායක් විසින් එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් දවා ගැනීමයි. මෙය සාමාන්‍ය ආකාරයේ දවාගැනීමක් නොවූ අතර ක්‍රිකට් ඉතිහාසයේ පැරණි සිදුවීමක පුනරාගමනයක් ලෙසින් විචාරකයන් කතාබහට ලක්කරන්නට විය.එම දවාගැනීමේ ක්‍රමය Mankading ලෙසින් හැඳින්වේ.මෙම ක්‍රමයේ ඉතිහාසයේ සිට අද දක්වා පැමිණ  ඇති ආකාරය අපි විමසා බලමු.

විනූ මන්කඩ්
1940/50 දශකයන්හි ක්‍රිකට් ක්‍රීඩා කල විනූ මන්කඩ් නම් ඉන්දියානු ක්‍රීඩකයෙක් විය.ඔහු පිතිකරුවෙක් මෙන්ම වමතින් පා දඟ පන්දු යනන්නෙක් විය.1947/1948 ඉන්දියානු පිලේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙදී ඕස්ට්‍රේලියානු පිතිකරු බිල් බ්‍රවුන් පන්දු යවන්නාගේ අන්තයේ සිටියදී දුවද්දී දවා ගැනීමට පන්දු යවමින් සිටි මන්කඩ් සමත්විය. පන්දු යවමින් සිටි අවස්ථාවේ පිතිකරු බිල් පන්දු යවන අන්තයේ සීමාව ඉක්මවා ගොස් තිබීම ඔහු එයට ගොදුරු වීමට හේතු විය.මෙම බලාපොරොත්තු රහිත දුවද්දී දවා ගැනීමේ ආකාරයෙන් ඕස්ට්‍රේලියානු මාධ්‍ය කෝපාවිෂ්ඨ වී දොස් පවරන්නට විය. තවද මේ දවාගැනීමේ ආකාරය විනූ මන්කඩ් ගේ නමෙහි කොටසක් භාවිත කොට Mankading ලෙසින් හඳුන්වන්නට විය.අද වන විට අවස්ථා 4 බැගින් ටෙස්ට් තරග වලත් එක්දින ජාත්‍යන්තර තරග වලත් මේ ආකාරයට දවා ගැනීම් සිදුකර ඇත. පසු කාලීනව වන විට ක්‍රීඩාවේ ජීව ගුණය සැලකීමෙන් මෙවැනි ක්‍රමයට දවා ගැනීම් කරගැනීමට තිබූ  පැහැදිලි අවස්ථා තුනක් පමණ සිදු නොවීමට වගබලාගෙන ඇත. එයින් ප්‍රධානතම සිදුවීමක් ලෙස 1987 රිලයන්ස් ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේදී පකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති තරගයක පකිස්තානු පිලේ  අවසාන පිතිකරු ලෙස පන්දු යවන සීමා අන්තයේ සිටි සලීම් ජෆාර් Mankading ක්‍රමයට දවා ගැනීමට තිබූ අවස්ථාව ප්‍රයෝජනයට නොගත් කොදෙව් වේග පන්දු යවන්නකු වන කර්ට්නි වෝල්ශ්  ඔහුට නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකිරීම දැක්විය හැක.අවසානයේ එම තරගය පකිස්තානු පිල ජයග්‍රහණය කිරීමට සමත්විය.

බිල් බ්‍රවුන්
කෙසේ වෙතත් පන්දු යවන්නා නිල වශයෙන් සිදුකෙරෙන අනතුරු ඇඟවීම් කෙරෙහි තැකීමක් නොකොට දිගින් දිගටම පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරු තණතීරුව දිගේ පන්දු යැවීමට පෙර ඉදිරියට ගමන් කරන්නේ නම් ක්‍රීඩාවේ ජීව ගුණයට සැබෑ ලෙසම හානි කරන්නේ එම පිතිකරුවා විසිනි.ක්‍රීඩාවේ ජීව ගුණයේ නාමයෙන් අනතුරු ඇඟවීමකින් අනතුරුව ඒ සඳහා යොමුවීම සියළු දෙනා අනුමත කරන්නක් මිස ක්‍රිකට් නීති වලට අනුකූලව සීමා ඉර ඉක්මවා පන්දු යවන්නා පන්දුව යොමුකිරීමට පෙර එම අන්තයේ පිතිකරු ඉදිරියට ගොස් ඇති විට දවාගැනීමට අනතුරු ඇඟවීම් සිදුකල යුතු නැත.සචිත්‍ර හා ජොස් බට්ලර් අතර සිදුවූයේ පිතිකරු විසින් පන්දු යවන්නාගේ අනතුරු ඇඟවීම් කිසිත් ගණනකට නොගෙන දිගින් දිගටම සීම ඉර ඉක්මවා ඇවිද යාමෙන් ඇතිවූ සිදුවීමක අවසාන ප්‍රතිඵලයකි.ජොස් බට්ලර් ඊට පෙර පැවති සිව් වැනි තරගයේදී පවා ලකුණු විශාල ප්‍රමාණයක් මෙලෙස කල්තබා සීමාඉර ඉක්මවා ගොස් සිටිමින් ලබාගත් බව නිරීක්ෂණය කල බව නායක ඇන්ජලෝ මැතිව්ස් වරෙක අදහස් දක්වා තිබුනි.

මෙම ක්‍රමයට දවා ගැනීමේදී පවා විමසා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත. Mankading ක්‍රමයට දවා ගැනීම සම්බන්ද කරුණු ක්‍රිකට් නීති පොතේ අංක 42.15 යටතේ දක්වා ඇත.එහිදී සඳහන් වන්නේ පන්දු යවන්නා සීමාවට පැමිණ  ඉදිරි පියවර තබා පන්දුව යොමුකරන ඉරියව්වෙන්ම විකට්ටුව බිඳ දමා දවාගත නොහැකි බවයි. එනම් ඉදිරි පාදය තබා පන්දු යැවීමට පෙර පන්දුව යවන සීමාවට දිවවිත් ඉහළට පැන පන්දු යවන්නා පසු පාදය තබන තෙක් පමණක් ක්‍රියාත්මක වන පන්දු යැවීමේ ක්‍රියාවලිය ඇතුලත Mankading ක්‍රමයට දුවද්දී දවාගත හැක යන්නයි.

No comments:

Post a Comment