Friday, September 18, 2015

අලි - ඉනොකි සටන

අලි හා ඉනොකි තරගය අතරතුර
1975 වසරේදී හෙවිවේට් බර පන්ති බොක්සිං ශූරයෙක් වූ මොහොමඩ් අලි විසින් එක්තරා සාදයකදී ඇමෙරිකාවට පැමිණ  සිටි එවකට ජපන් ආධුනික මල්ලව පොර ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කල ඉචිරෝ යදා සමඟ අපූරු කතාබහක් ඇතිවිය. එහිදී අලි විසින් තමන්ට අභියෝගයක් කල හැකි පෙරදිග සටන් කරුවෙක් නොමැතිදැයි විමසා ඇති අතර එසේ සිටී නම් තමන් සමඟ තරග වැදී ඔහු ජයග්‍රහණය කලහොත් තමන් ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් ලබා දෙන බවට යෝජනාවක් සිදුකර ඇත. අලි විසින් සිදුකල මෙම ප්‍රකාශය ඉචිරෝ විසින් ජපන් මාධ්‍යයට නිරාවරණය කිරීමත් සමඟ තත්වය වෙනස්ම මුහුණුවරක් ගැනිනි.මාධ්‍ය හරහා හෙළිදරව් වූ අලි ගේ මෙම අභියෝගයට ප්‍රතිචාර දකවන්නේ අන්තෝනියෝ ඉනොකි නම් ජපන් මල්ලව පොර ශූරයාය. තරගයට පෙරතුව ගණුදෙනුව සඳහා 1976 වසරේ මාර්තු මස අත්සන් කෙරීම සිදුවිය.තරගය පැවැත්වීමට පෙර සිටම දැඩි මාධ්‍ය අවධානයක් ලැබී තිබිනි.

සටන් කරුවන් දෙදෙනා සටන් ආකාර දෙකක් නියෝජනය කරන හෙයින් මෙම විශේෂිත තරගය සඳහා තරග නීතිරීති වෙනස් කිරීමට බලධාරීන්ට සිදුවුනි. තරගය පෙරතුව තිබූ මාධ්‍ය සාකච්ඡාවකදි අලි විසින් ඉනොකිට "පෙලිකන්" යැයි උපහාසාත්මක වාග් ප්‍රහාරයක් එල්ල කොට තිබිනි. ඊට හේතුව වූයේ ඉනොකිට දික්වූ පුළුල් නිකටක් පැවතීමයි . ඊට ප්‍රතිචාර වශයෙන් ඉනොකි "ඔහේගේ මුෂ්ටිය මුලින්ම මගේ නිකටේ වැදිලා තුවාල නොවෙන්න ප්‍රවේසම් කරගන්නවා" යනුවෙන් පවසා තිබේ. සටන 1976 වසරේ ජුනි 26 වැනි දින ජපානයේ Nippon Budokan ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්විනි .ඉනොකි තරගය පුරා අලිගේ පාද ඉලක්ක කොට පහර දීම කැපී පෙනිනි.අලීට බොක්සිං තරගයක මෙන් වැරෙන් මුෂ්ටි ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව මෙයින් සීමා වුනි.ඉනොකිගේ පා පහර වලින් ගැලවෙන අතරතුර මුළු තරගය පුරා අලිට එල්ල කිරීමට හැකිවූයේ මුෂ්ටි ප්‍රහාර හයක් පමණි.

අලි විසින් ඉනොකි 1998 වසරේ මුණගැසුනු අවස්ථාව
වට 15ක් පුරා ඇදී ගිය මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.මෙම තරගයේදී අලි ගේ පාදවලට ඉනොකි විසින් එල්ල කල පහර දීම් කිහිපයක් නිසා අලි ගේ පාදවල ලේ ගැලීම් සිදුවී තිබුනි.තරගයේ නීතීරීති වෙනස් වීම නිසා සටනේ තරගකාරීත්වයට සිදුවූ බාධා නිසා තරගය ගැන ඊට පෙරසිට බලාපොරොත්තු වුනු අකාරයටම තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සතුටු වී නැහැ.ඇතැම් විචාරකයන් පවසන පරිදි මෙම තරගය මොහොමඩ් අලි ගේ බොක්සිං ක්‍රීඩා අනාගතයට බෙහෙවින් නරක බලපෑමක් සිදුකර තිබේ.කෙසේ හෝ මෙම තරගයෙන් අනතුරුව අන්තෝනියෝ ඉනොකි සහ මොහොමඩ් අලි ඉතා කුළුපග මිතුරන් බවට පත්විය.

Sunday, September 13, 2015

ලූසොන් දූපතේ පුදුමාකාර පිහිටීම

දූපත් 3 සහ විල් 2 එකම ඡායාරූපයක
පිලිපීන දූපත් රාජ්‍යයේ විශාලතම සහ ජනාකීර්ණම දූපත වන්නේ වර්ග කිලෝමීටර 109,965 කින් සමන්විත ලූසොන් (Luzon) දූපතයි. පිලිපීනයේ අගනගරය වන මැනිලා නුවර පිහිටා ඇත්තේද එම දූපතේය. ලොව සිව්වැනි ජනාකීර්ණම දූපත වන්නේද ලූසොන් දිවයිනයි. මෙම දූව නැගෙනහිරෙන් පිලිපීන මුහුදෙන්ද, දකුණෙන් සිබුයාන් මුහුදෙන්ද, බටහිරෙන් දකුණු චීන මුහුදෙන්ද වටවී ඇති අතර උතුරෙන් ලූසොන් සමුද්‍ර සංධියෙන් තායිවානයෙන් වෙන්වේ. මෙම ලූසොන් දූපත තුල ස්වභාව ධර්මයේ අරුම පුදුම භූ විෂමතාවයක් පිහිටා ඇත.එනම් දූපත තුල විලක්, එම විල තුල දූපතක්, එම දූපත තුල විලක්, එම විල තුල දූපතක් ලෙසින් ඇති පිහිටීමකි.

සැටලයිට් ඡායාරූපයක්
ලූසොන් දූපතේ ටාල් නම් ගිනි කඳු සංකීර්ණයක් ඇත. එය ඉතිහාසය පුරා 33 වතාවක් විදාරණය වී ඇති අතර පිලිපීනයේ දෙවැනියට වඩාත්ම සක්‍රීය ගිනිකන්ද වේ. මීට වසර ලක්ෂයක් - ලක්ෂ පහක් අතර කාලයකට පෙර සිදුවූ ගිනිකඳු විදාරණයක ප්‍රතිපලයක් ලෙස  සෑදුනු අවාටයක් මිරිදිය ජලයෙන් පිරී ලූසොන් දූපත මැද ටාල් (Taal) නමින් අද හැඳින්වෙන විල බිහිවී තිබේ.එය පිලිපීනයේ තෙවැනි විශාලතම විලද වේ.එම විල තුල විලෙන් ඉහලට මතුවී පෙනෙන ගිනිකඳු විවරයකින් සමන්විත කොටස දූපතක් (Volcano Island) ලෙසින් ඇත.එම ගිනිකඳු විවරය තුල ජලය එක් රැස් වී විලක් නිර්මාණය වී ඇති අතර එම විල (Main Crater Lake) තුල ජලයෙන් ඉහලට මතුවී පෙනෙන දූපතක් (Vulcan Point Island) ඇත.

ගිනිකඳු විවරයෙහි ඇති විල සහ එහි ඇති කුඩා දූපතේ සමීප සැටලයිට් ඡායාරූපයක්