Wednesday, February 18, 2015

ඩයිනොසෝරයන්ගේ ලෝකය...

Jurassic Park චිත්‍රපටයේ Tyrannosaurus rex පහරදෙන අවස්ථාවක්
මීට වසර මිලියන ගණනාවකට පෙර මිහිමත දිවිගෙවූ අපූර්ව සත්ත්ව කොට්ඨාසයක් පිළිබඳ වැදගත් කරුණු රැසක් මෙම ලිපිය මඟින් ඉදිරිපත්කිරීමට මම අදහස් කරමි. මා කුඩා කල සිට සොයාබැලීමට සාකච්ඡාකිරීමට ඉතා ප්‍රියතාවයක් දැක්වූ මෙම විෂය ක්ෂේත්‍රය සඳහා උනන්දුව ඇතිකිරීමට මූලික පෙළඹවීම සිදුවූයේ කුඩා කල නැරඹූ Jurassic Park සිනමාපටය මඟිනි. එතැන් සිට ක්‍රමයෙන් මා ඒ ආශ්‍රිත නොයෙකුත් රූපවාහිනී සඟරාමය වැඩසටහන් නැරඹීමෙන් සහ පොතපත ඇසුරු කිරීමෙන් මෙම සත්ත්ව කාණ්ඩය පිළිබඳව යම් අදහසක් ඇති කරගැනීමටත් දැනුම්වත් වීමටත් හැකිවිය.මේ මිහිමත රජකල ඩයිනොසෝරයන් පිළිබඳයි.

ග්‍රීක භාෂාවෙන් ඩයිනොසෝරස් යන්නෙහි අර්ථය "Terrible Lizard " යන්නයි. නමුත් මෙම "Lizard" යන වදන සාම්ප්‍රදායිකව භාවිතට ගන්නක් මිස සත්‍යවශයෙන්ම එය ඩයිනොසෝරයන් සම්බන්දයෙන් නොගැළපේ.මන්ද ඩයිනොසෝරයන් තම උදරය තම පාද මතින් ඔසවා ගෙන ගමන් කිරීම සිදුකල නිසාය.විශාලත්වයෙන් කුඩා ප්‍රමාණයේ සිට මීටර් ගණනින් ඉතා දිග ටොන් ගණනින් ඉතා බරැති ඩයිනොසෝරයන් විසූහ.  මොවුන්ගෙන් ඇතැමෙක් බිහිසුණු මාංශ භක්ෂකයන් වූ අතර අනෙත් සත්ත්වයන් 
ජුරාසික් අවධියේදී විශාල වනාන්තර වැස්මක් තිබී ඇති බව සැලකේ.
සාමකාමීව දිවි ගෙවූ ශාක භක්ෂකයන්  විය. පෘථිවිය මෙතෙක් ගෙවා පැමිණි භූගෝල විද්‍යාත්මකව නම් කල යුග (Era) තුනක් සහ ගෙවෙමින් පවතින එක යුගයකි. ඒවා Precambrian , Paleozoic , Mesozoic , Cenozoic ලෙසයි. එයිනුත් ඩයිනොසෝරයන් මිහිමත රජකල යුගය නමින් Mesozoic වේ. එම යුගයද ප්‍රධාන අවධි (Periods) 3 කට බෙදා  වෙන් කෙරේ.එනම් Triassic, Jurassic, Cretaceous ලෙසින්ය. මෙම Mesozoic යුගය වසර මිලියන 155 කාලයක් පුරා විහිදී පැවතුණි. ඩයිනොසෝරයන් වඳවී  අද වන විට වසර මිලියන 65 පමණ කාලයක් ගතවී ඇත.උන්ගේ අස්ථි කොටස් එම කාලය පුරා පාෂාණීභූතව පවතී.විද්‍යාඥයන් මෙම ෆොසිල අධ්‍යයනය මඟින් එම සතුන් එදවස විසූ ආකාරය පිළිබඳ තොරතුරු තහවුරු කර ගනී.

ඩයිනොසෝරයන්ගේ පාෂාණීභූත ෆොසිල
        විද්‍යාත්මකව නම්කල ප්‍රථම ඩයිනොසෝරයා Megalosaurus (මෙගලොසෝරස්) නම් මාංශ භක්ෂක සත්ත්වයා වේ. එම නම් කිරීම 1824 වසරේදී විලියම් බක්ලන්ඩ් විසින් සිදුකරන ලදී.ලොව පුරා ඩයිනොසෝරයන් ගේ ෆොසිල හමුවූ ප්‍රධාන තැන් කිහිපයක් පවතී. ඒ අතර ආසියාවේ චීනය හා මොගෝලියාව, අප්‍රිකාවේ ටැන්සානියාව, උතුරු ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ සහ දකුණු ඇමෙරිකාවේ ආර්ජන්ටිනාව ප්‍රධාන තැනක් ගනී.මුල්ම ඩයිනොසෝරයන් මීට වසර මිලියන 220 කට පෙර බිහිවූ බව සැලකේ. ජලයේ බිහිවූ ඇතැම් ජීවීන් වසර දහස් ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩබිමට පැමිණීමේ ප්‍රයත්නයක ප්‍රතිඵලයක්  ලෙස  ඩයිනොසෝරයන් පරිණාමය විය. ඩයිනොසෝරයන් ඇතිවීමට හේතුවූ මුල් උරගයන් ලෙස Triassic අවධියේ විසූ Thecodont සත්ත්ව කොට්ඨාසය සැලකේ. මෙම සතුන් අනෙක් සමකාලීන උරගයන්ට සාපේක්ෂව උදරය ඔසවාගෙන ගමන් කර ඇති බවට සොයාගෙන ඇත.සියළු ඩයිනොසෝරයන් එකම කාලයේ ඇතිවූවන් නොවේ.එක් එක් යුගයන් හිදී එක් එක් සත්ත්වයන් ප්‍රමුඛතාවයට පත්වූ අතර ඇතැම් සතුන් ඇතැම් අවධි වලට පමණක් සීමා වී වඳවී අතුරුදන් විය.ඩයිනොසෝරයන්ට සමකාලීනව ගුවනේත් සාගරයේත් රජකම් කල සතුන් විශේෂ බොහොමයක් විය.ගුවනේ සැරිසරමින් කුඩා සතුන් ජලාශ වල මත්ස්‍යන් අනුභව කල සත්ත්වයන් Pterosaurs ලෙසින් වර්ගීකරණය කල අතර ,මුහුදේ දිවි ගෙවූ සත්ත්වයන් Plesiosaurs , Ichthyosaurs ලෙසින් වර්ගීකරණය වූ කාණ්ඩ විය.

Brachiosaurus නම් ශාක භක්ෂක දැවැන්තයා
ඩයිනෝසෝරයන් ප්‍රධාන වශයෙන් උන්ගේ උකුල්වල පිහිටීම මුල්කරගෙන උරග උකුල් (Saurischians) හා  පක්ෂී උකුල් (Ornithischians) ලෙසින් බෙදා වෙන් කෙරේ. මාංශ භක්ෂක ඩයිනොසෝරයන් Therapods ලෙසින් හැඳින්වෙන අතර මාංශ භක්ෂක ඩයිනොසෝරයන්ට උල් නිය, ප්‍රබල හකුපාඩා ලාක්ෂණික විය. එක් එක් අවධි සැලකීමේදී බල්ලෙකුගේ ප්‍රමාණයේ Raptor ඩයිනොසෝරයකු සිට ටොන් ගනනක් බරැති දැවැන්ත  Tyrannosaurus rex වැනි ඩයිනොසෝරයන් පරාසයක් පුරා මාංශ භක්ෂකයන් එකල ජීවත් විය.ශාක භක්ෂක ඩයිනොසෝරයන් Sauropods ලෙසින් හැඳින්වෙන අතර ශාක භක්ෂක ඩයිනොසෝරයන්ගේත් විවිධත්වය පරාසයක පැතිරී තිබිණි.නමුත් බොහෝ ශාක භක්ෂක ඩයිනෝසරයන් ඉතා දැවැන්ත ශරීර වලට හිමිකම් කීය.Brontosaurus, Diplodocus වැනි ශාක භක්ෂක සත්වයන්ට ඉතා දිගු බෙල්ල සහ ඉතා දිගු වල්ගය ලාක්ෂණික විය.ඇතැම් ශාක භක්ෂකයන්ට මාංශ භක්ෂකයන්ගෙන් බේරීමට උන්ගේ ශරීරයේ එක් එක් සැකැසීම් ස්වභාවිකව උරුමවී තිබුනි.ඊට උදාහරණ ලෙස Stegosaurus සත්ත්වයන්ගේ පිටේ තිබූ උල් කටු සැකැස්මද ,අං සහිත Ceratopsians සත්ත්වයන්ද,සිරුරේ තැටි මෙන් සැකසීමක් තිබූ Ankylosaurs සත්ත්වයන් දැක්විය හැක.
 
වසර මිලියන 65කට පෙර පෘථිවිය හා විශාල උල්කාපාතයක් ගැටීම
කෙසේ වෙතත් මෙම අපූර්ව සත්ත්වයන් මීට වසර මිලියන 65 කට පෙර සහමුලින්ම වඳවී තුරන් විය.මේ සඳහා හේතුවූවා යැයි සැක කෙරෙන කරුණු කිහිපයක් විද්‍යාඥයන් අතර පවතී.ඇතැමුන් පවසන පරිදි සිදුවූ හදිසි කාලගුණ උෂ්ණත්ව වෙනස්වීමක් දරාගැනීමට නිහැකිව මෙම චලතාපී සතුන් විනාශ වූ බව සැලකේ.නමුත් වඩාත්ම පිළිගත් මතය වන්නේ පෘථිවිය හා ගැටුනු විශාල උල්කාපාතයක් හේතුවෙන් මහා විනාශයක් සිදුවී එම ගැටුමෙන් ඉහල නැගුනු දූලි වළා පෘථිවි වායුගෝලය වසා දීර්ඝ කාලයක් පැතිර පැවතීමෙන් හිරු එළිය පොළව මතට වැටීම වැළකී ශාක ප්‍රභාසංස්ලේෂණය ඇණහිටීම හේතු කොටගෙන ශාක මියයාමත් ඒවා අනුභවකරන ශාක භක්ෂකයන් මියයාමත් ඒ හේතුවෙන් මාංශ භක්ෂකයන් මියයාමත්ය.

No comments:

Post a Comment