Friday, October 2, 2015

ගිනි වළල්ල

ගිනි වළල්ල
පෘථිවිය පුරා විසිරී ඇති ගිනිකඳු ප්‍රමාණයෙන් 75% පමණ පිහිටා ඇති සැතපුම් 25000 ක දිගින් යුතු එක්තරා අපූරු භූගෝලීය පිහිටීමක් ඇත.එය පැසිෆික් සාගරයේ වෙරළ තීරයක් මූලික කොට ගෙන පිහිටා ඇති කවාකාර භූමි පෙදෙසක් වන අතර නමින් ගිනි වළල්ල (Ring Of Fire ) ලෙස ලොව ප්‍රචලිතව පවතී.ලොව පුරා සිදුවන භූමි කම්පා වලින් 90%ක් පමණ සිදුවන්නේ මෙම භූමි කලාපය ආශ්‍රිතවය.මෙය ගිනි වළල්ල ලෙසින් හැඳින්වෙන්නේ එම කලාපය පුරා පැතිරී ඇති සක්‍රීය ගිනිකඳු එකට ගත් කල කවයක් ලෙසින් දකුණු ඇමෙරිකාවේ බටහිර වෙරළ වල සිට  නවසීලන්තය දක්වා උතුරු අර්ධ ගෝලය හරහා සළකුණු වන හෙයිනි.

කේතු හැඩැති Stratovolcano ලෙසින් හැඳින්වෙන ගිනිකඳු
මෙම ගිනි වළල්ලේ පිහිටි ගිනිකඳු විදාරනය වීමේදී දැඩි ප්‍රචණ්ඩතාවයක් පෙන්නුම් කරයි.මෙම ගිනිකඳු ඉතා හොඳ කේතු හැඩයක් ගැනීමද විශේෂ ලක්ෂණයකි. ගිනි වළල්ලේ පිහිටා ඇති ගිනිකඳු විදාරණය වීමේදී පිටවන්නේ සිලිකා බහුල මැග්මා වේ.සිලිකා බහුලවීම  නිසා එම මැග්මා වල ඉහළ දුස්ස්‍රාවීතාවයක් පවතී.පොදුවේ ගිනිකන්දක විදාරණයේදී මැග්මා සමඟ වායූන් ගිනිකඳු විවරයෙන් නිකුත්වේ. නමුත් සිලිකා බහුල වීම නිසා දුස්ස්‍රාවීතාවය අධික වූ Blocky lava ලෙසින් හැඳින්වෙන මෙම ලාවා වර්ගය හේතුවෙන් එම වායූන්ට රිසිසේ  විවරයෙන් පිටතට ගමන් කිරීමට නොහැකි වීම නිසා ගිනිකන්ද තුල විශාල පීඩනයක් එක්රැස් වී එය දරාගැනීමේ උපරිම සීමාවට ළඟා වූ විට ප්‍රචණ්ඩ විදාරණයක් සිදුකරයි.විදාරණයෙන් අනතුරුවද මෙම ලාවා වල ඇති අඩු සචලතාවය නිසා ගිනිකන්ද දෙපසින් සෙමින් පහල බැසීම හේතු කොට ගෙන එක මත එක ස්ථර වශයෙන් තැන්පත් වී ඝනීභවනය වී උස් බිම් සැකසේ.එය ඉහත සඳහන් කල කේතු හැඩැයෙන් යුත්  Stratovolcano ලෙසින් හැඳින්වෙන ගිනිකඳු වර්ගය බහුල වශයෙන් පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා තිබීමට හේතු වී ඇත.

Phytoplankton ක්ෂුද්‍ර ජීවීන්
පැසිෆික් ගිනි වළල්ලේ ගිනිකඳු විදාරණයේදී පිටතට පැමිණ ඝණීභූත වූ පාෂාණ කොටස් අධ්‍යයනය කල විද්‍යාඥයින් පහදා දෙන  ආකාරයට ඒවායේ Hornblende ලෙසින් හැඳින්වෙන ස්ඵටික නිරීක්ෂණය වී ඇත.මෙම  Hornblende ස්ඵටික නිර්මාණය වන්නේ ජලය තිබෙන පරිසරයක් තුල වීමද විශේෂත්වයකි.තවද ගිනි වළල්ලේ ගිනිකඳු වලින් පිටවන වායූන් අධ්‍යයනය කල විද්‍යඥයින් පවසන්නේ C-12 මූලද්‍රව්‍ය සැලකිය යුතු මට්ටමින් ඔවුන්ට නිරීක්ෂණය කල හැකි වූ බවයි.ජලය තිබෙන පරිසරයක් තිබීම සහ C-12 මුලද්‍රව්‍ය තිබීම ගිනි වළල්ලේ ගිනිකඳු තුල ක්‍රියාවලියට සහභාගි වන්නේ කෙසේද යන ගැටළුව විද්‍යාඥයන් පහදා දෙන ආකාරය ඉතා සිත්ගන්නා සුළු වේ.එය මෙසේය.සාගරයේ වෙසෙන Phytoplankton නම් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය වර්ධනයේදී තම සෛල තුලට C-12 උරාගැනීම සිදුකරයි.එම ක්ෂුද්‍ර ජීවීන් අභාවයට පත්වූ විට උන්ගේ ශරීර ක්‍රමයෙන් සාගර පත්ලට ගොස් තැන්පත් වන අතර මෙම සිදුවීම කාලන්තරයක් තිස්සේ සිදුවීමේ ප්‍රතිපලයක් ලෙස සාගරයේ මණ්ඩි ලෙස පත්ලේ තැන්පත් වේ.මේ හේතුවෙන් C-12 සාගර පතුලට එක්වේ.නමුත් පැසිෆික් වෙරළ තීරයන් හා ගිනි වළල්ල සලකා බැලුවිට වෙරළට සැතපුම් කිහිපයක් ඈතින් පිහිටන ගිනිකඳු තුලින් Hornblende ස්ඵටික නිර්මාණයට ජලය තිබීම, ගිනිකඳු තුලින් පිටවූ වායූන්ගේ C-12 නිරීක්ෂණය වීම වැනි කරුණු ඈත සාගර පතුලේ තැන්පත් වූ දෑ සමඟ දක්වන සබැඳියාව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එක්තරා සුවිශේෂී භූ විද්‍යාත්මක සංසිද්ධියක් හරහා වීම සුවිශේෂී වේ.එනම් මෙය පහදා දිය හැක්කේ Subduction නම් භූ විද්‍යාත්මක ක්‍රියාවලිය මඟිනි.

Subduction ක්‍රියාවලිය
පෘථිවිය දෙස බැලූ බැල්මටම නොපෙනුනත් පෘථිවි ශිලා ගෝලය (Lithosphere) භූ තල ගණනාවකට වෙන්වී ඇත.පෘථිවි අභ්‍යන්තරයේ මැග්මා ක්‍රියාකාරීත්වය නිසා මෙම භූ තල නිරතුරු චලනය වේ. සාගරයක් සහිත කබොලක් ඇති භූ තලයක් සහ මහාද්වීපික කබොලක් සහිත භූ තලයක් ගැටුනු කල සාගර කබොල සහිත භූ තලයේ ශිලාගෝලය මහාද්වීපික කබොල සහිත භූ තලය පහළින් ඝර්ෂණයකට භාජනය කරමින් තෙරපී පෘථිවි මැන්ටලය (Mantle) තුලට  ගමන් කරයි.එසේ වන්නේ සාගර කබොල සහිත භූ තලය මහාද්වීපික කබොලක් සහිත භූ තලයට වඩා ඝනත්වයෙන් අඩු හෙයිනි.එනිසා මෙම Subduction ක්‍රියාවලිය සිදුවන භූ තල මායිම් ඔස්සේ  ඇතුලට නෙරුනු ස්වභාවයක් සහිතව විහිදුනු සාගර අගල් (Oceanic Trenches) නිර්මාණය වේ.

ඉහත ක්‍රියාවලිය පැසිෆික් භූ තලයටද පොදුය.පැසිෆික් භූ තලය ප්‍රධාන භූ තල අතුරින් විශාලතම භූ තලයද වේ.විශාල සාගර කලාපයක් සහිත කබොලකට හිමිකම් කියන පැසිෆික් භූ තලය ඊට තදාසන්න අනෙකුත් භූ තල හා ගැටීමේදී සිදුවන Subduction ක්‍රියාවලිය නිසා පැසිෆික් භූ තල මායිමේ කැපී පෙනෙන විශාල සාගර අගලක් නිර්මාණය වී තිබීම  විද්‍යාඥයින් විසින් රේඩාර් මඟින් නිරීක්ෂණය කොට ඇත.ඉහත Subduction ක්‍රියාවලිය නිසා සාගර කබොලේ ඉහල ස්ථර වල තැන්පත්ව තිබූ දෑ තෙරපී සීරී ගොස් අනෙක් භූ තලයේ මහාද්වීපික කබොලට එකතු වී උස් බිම් ,නව වෙරල සීමාවන් සහිත ගොඩබිම් නිර්මාණය කරයි.එසේම ක්‍රියාවලිය ඔස්සේ පහලට ගමන් කරන පෙර සාගර පතුලට වන්නට පිහිටා තිබූ ස්ථරවල තැන්පත්ව තිබූ ජලය හා Phytoplankton වැනි ක්ෂුද්‍ර ජීවීන් නිසා එකතු වූ C-12 වැනි දෑ පෘථිවි අභ්‍යන්තරයේ ඇති මැග්මා සමඟ කැකෑරී මහාද්වීපික කබොලේ නිර්මාණය වී ඇති ගිනි කඳු ඔස්සේ C-12 අඩංගු වායූන් සමඟ වාතලයට එක් වීම සහ ජලය නිසා භූ ඝර්භය තුල Hornblende ස්ඵටික නිර්මාණය වී එවා ගිනිකඳු විදාරණයේදී පිටතට පැමිණීම මඟින් විද්‍යාඥයින්ට ඉහත සාධක නිරීක්ෂණය කල හැකි වීම විස්තර කල හැක.

No comments:

Post a Comment