Sunday, September 13, 2015

ලූසොන් දූපතේ පුදුමාකාර පිහිටීම

දූපත් 3 සහ විල් 2 එකම ඡායාරූපයක
පිලිපීන දූපත් රාජ්‍යයේ විශාලතම සහ ජනාකීර්ණම දූපත වන්නේ වර්ග කිලෝමීටර 109,965 කින් සමන්විත ලූසොන් (Luzon) දූපතයි. පිලිපීනයේ අගනගරය වන මැනිලා නුවර පිහිටා ඇත්තේද එම දූපතේය. ලොව සිව්වැනි ජනාකීර්ණම දූපත වන්නේද ලූසොන් දිවයිනයි. මෙම දූව නැගෙනහිරෙන් පිලිපීන මුහුදෙන්ද, දකුණෙන් සිබුයාන් මුහුදෙන්ද, බටහිරෙන් දකුණු චීන මුහුදෙන්ද වටවී ඇති අතර උතුරෙන් ලූසොන් සමුද්‍ර සංධියෙන් තායිවානයෙන් වෙන්වේ. මෙම ලූසොන් දූපත තුල ස්වභාව ධර්මයේ අරුම පුදුම භූ විෂමතාවයක් පිහිටා ඇත.එනම් දූපත තුල විලක්, එම විල තුල දූපතක්, එම දූපත තුල විලක්, එම විල තුල දූපතක් ලෙසින් ඇති පිහිටීමකි.

සැටලයිට් ඡායාරූපයක්
ලූසොන් දූපතේ ටාල් නම් ගිනි කඳු සංකීර්ණයක් ඇත. එය ඉතිහාසය පුරා 33 වතාවක් විදාරණය වී ඇති අතර පිලිපීනයේ දෙවැනියට වඩාත්ම සක්‍රීය ගිනිකන්ද වේ. මීට වසර ලක්ෂයක් - ලක්ෂ පහක් අතර කාලයකට පෙර සිදුවූ ගිනිකඳු විදාරණයක ප්‍රතිපලයක් ලෙස  සෑදුනු අවාටයක් මිරිදිය ජලයෙන් පිරී ලූසොන් දූපත මැද ටාල් (Taal) නමින් අද හැඳින්වෙන විල බිහිවී තිබේ.එය පිලිපීනයේ තෙවැනි විශාලතම විලද වේ.එම විල තුල විලෙන් ඉහලට මතුවී පෙනෙන ගිනිකඳු විවරයකින් සමන්විත කොටස දූපතක් (Volcano Island) ලෙසින් ඇත.එම ගිනිකඳු විවරය තුල ජලය එක් රැස් වී විලක් නිර්මාණය වී ඇති අතර එම විල (Main Crater Lake) තුල ජලයෙන් ඉහලට මතුවී පෙනෙන දූපතක් (Vulcan Point Island) ඇත.

ගිනිකඳු විවරයෙහි ඇති විල සහ එහි ඇති කුඩා දූපතේ සමීප සැටලයිට් ඡායාරූපයක්

No comments:

Post a Comment