Monday, February 23, 2015

මයිකල් ජැක්සන් ගේ අපූරු සපත්තු ජෝඩුව


මියුනිච් නුවර පැවති ප්‍රසංගයකදී
1987 වසරේදී නිකුත්වූ මයිකල් ජැක්සන් ගේ Bad ගීත ඇල්බමයේ එන Smooth Criminal ගීතයේ වීඩියෝවෙහි එක්තරා අපූරු නර්තන වින්‍යාසයක් ඔහු විසින් යොදාගන්නා ලදී. නරඹන්නන් විශ්මයට පත්වන අයුරින් පොළවට දෙසට වඩාත් ඇලවී නැවත කෙලින් සිට ගැනීමේ අවස්ථාව දක්වා සිදුකෙරෙන මෙය ගුරුත්වයට එරෙහිව සිදුකෙරෙන චලනයක් හෙයින් Anti gravity lean (ප්‍රති ගුරුත්ව ඇලවීම) ලෙසින් ප්‍රචලිත විය. මයිකල් ජැක්සන් විසින් ගීතය ගයමින් නර්තනයේ යෙදෙන අතරතුර ප්‍රේක්ෂකයන් මවිත කරන මෙම ප්‍රති ගුරුත්ව ඇලවීම ප්‍රසිද්ධ වේදිකාවේ  සජීවීව කිසිදු රැහැනක ආධාරයෙන් සිදුනොකිරීම සඳහා වෙනත් උපක්‍රමයක් භාවිත කිරීමට ප්‍රයත්න දැරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස අපූරු සපත්තු මොඩලයක් ඔහුගේ මූලිකත්වයෙන් සහ මයිකල් බුෂ් සහ ඩෙනිස් ටොම්ප්කින්ස් නම් තවත් දෙදෙනෙකුගේ අදහස් වල එකතුවක් ලෙස බිහිවිය.

නව නිර්මාණයේ නිත්‍යානුකූල අයිතිය තහවුරු කර ගැනීම උදෙසා ජැක්සන් විසින් මේ සපත්තු මොඩලය සඳහා 1993 වසරේදී පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී.මෙම චලනයේදී සිදුවන ක්‍රියා පිළිවෙල මෙසේය.Smooth Criminal ගීතයේ ප්‍රති ගුරුත්ව ඇලවීම සිදුකල යුතු අවස්ථාවේදී වේදිකාවෙන් ඉහළට මතුවන තව් දෙකකට සපත්තු ජෝඩුවේ අඩිය පෙදෙසේ  පතුලෙහි ඇතුලට වන්නට සකසා ඇති විශේෂ සැකැස්ම සිරවන පරිදි මෙය සිදුකරන්නා තබා ගනී. ඉන් පසු තව්ව සපත්තුවේ විශේෂිත සැකසීමට සිරවීමෙන් ලැබෙන සමතුලිතතාවය උපයෝගී කරගෙන ඉදිරියේ වේදිකා තලය දෙසට වඩාත් ඇලවී නැවත මුල් පිහිටීමට පැමිණේ.ජැක්සන් සහ ඔහු සමඟ වේදිකාවේ නර්තනයේ යෙදෙන සහයකින් මෙය සිදුකරයි. ජැක්සන්ගේ අනෙකුත් ගීත ගයමින් නර්ථනයේ යෙදෙන අවස්ථා වල ඔහු පළඳින සපත්තු ජෝඩුවලට වඩා Smooth Criminal ගීතය සඳහා ඔහු විසින්  තරමක් වෙනස් සපත්තු ජෝඩුවක් භාවිත කරනු හොඳින් නිරීක්ෂණය කලවිට දැකගත හැකිවේ.

No comments:

Post a Comment