Monday, February 2, 2015

එකම දැයක් වී මහ බලයක් වී පෙරටම යමු ලංකා...

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජාතික නිදහස් දිනය යෙදෙන මේ සමයේ ශ්‍රී ලාංකික වැසියන් ලෙස අප ලැබූ ජයග්‍රහණ සිහිකරනුයේ මහත් අභිමානයෙනි.වසර 3000 ක පමණ තහවුරු කරගත් ඉතිහාසයක්ද ඊටත් වසර දහස් ගණනක් පැරණි තහවුරු කර නොගත් ඉතිහාහසයකට උරුමකම් කියන අප මව්බිම ලෝකය විස්මිත කල දෑ බොහෝ සිදුකර ඇති බව අපි දනිමු.එය හුදෙක් ශ්‍රී ලාංකිකයෙක් ලෙස ජාතිමාමකත්වයෙන් පවසන්නක් නොව සැබෑවක් බව ඉතිහාසයෙන් අපට උරුම වූ අදටත් අපට දැකිය හැකි ඓතිහාසික ස්ථාන මොනවාට කියාපායි.අනේක විධ ජාතික ව්‍යසනයන් හමුවේ ඉතිහාසයේ සිටම නොසැලී තම අනන්‍යතාවය රකිනු වස් සිරිලක් පුතුන් දහස් ගණන් ලේ හෙලූ භූමියක් අපට උරුම වී ඇත.ඈත යුගයේ යක්ෂ,නාග,දේව,රකුස් යන සිව් හෙළයන් දිවි ගෙවූ අප රට තුල පසු කාලීනව මහා සංස්කෘතික පෙරළියකට ලක්වන්නේ බුදු දහම ලක්දිවට අරහත් මිහිඳු හිමියන් රැගෙන ඒමත් සමඟය.එතැන් සිට අද දක්වා ලොව අඛණ්ඩවම වැඩිම කලක් බුදු දහම රැගෙන එන ඉතිහාසය හිමි රට ලෙස සිරිලක සැලකේ. සිංහල ජාතිය රටේ ශිෂ්ටාචාරටයට මුල්වූ ඓතිහාසික ආගම වූ බුදු දහම වැලඳගෙන අද දක්වා රැකගෙන විත් ඇත.

අතීතයේ සිටම නොයෙක් ආක්‍රමණික ජාතීන් මෙරට සුවිශේෂී භූගෝලීය පිහිටීම හේතුකොට ගෙන ලංකාව තම ග්‍රහණයට නතු කර ගැනීමට මාන බැලීය. එය දකුණු ඉන්දියානුවගෙනුත් යුරෝපීයයන්ගෙනුත් වරින් වර සිදුවිය.යුරෝපීය ප්‍රබල ජාතියක් ආසියාවේදී ප්‍රථම වරට ලැබූ අන්තපරාජය සනිටුහන් කරමින් පෘතුගීසි හමුදා මෙරට තුලදී පස් වතාවකදී යුධ වැදී අන්තපරාජයට ලක්විය.අප රට ඉතිහාසයේ යම් අවස්ථාවලදී අරාජික හෝ ආක්‍රමණිකයන්ට නතුවී ඇත්නම් ඒ බොහෝවිට අප තුලම ඇතිවූ වූ අසමගිය හා පාලකයන් ගත් අඥාන තීරණ නිසාවෙනි.හිරු නොබසින අධිරාජ්‍ය ලෙසින් කිරුළු පැලඳ සිටි බ්‍රිත්‍යාන්‍යයන්ට පවා අප රට නතු කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවීය.වරින් වර ඇවිලුනු යුධ ගැටුම් වලදී ලක්වැසියන් පෙන්වූ රණකාමීත්වය ඉංග්‍රීසීන් පුදුමයට පත්කරවන ලදී.කෙසේ වුවත් රට තුලම ඇතිවූ අසමගිය රාජ්‍යත්වය කෙරෙහි වූ  කලකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉංග්‍රීසීන්ට ලක්දිව ගිවිසුමකින් පවරා දී යටත් විජිත්යක් බවට පත්වන තැනට කටයුතු සැලසුනි.නමුත් ඉංග්‍රීසීන් ගිවිසුමේ ප්‍රකාරව වැඩකටයුතු නොකරන බව ප්‍රමාදවී අවබෝධ කරගත් රට වැසියන් තම නිදහස උදෙසා 1818 ත් 1848 ත් ඉංග්‍රීසීන්ට එරෙහිව කැරළි ගැසූහ.ඒ සියළු කැරලි තුලදීත් පෙර සඳහන් කල සේම පාවාදීම් සිදුවිය.එම කැරලි වලදී කෝප වූ ඉංග්‍රීසි හමුදා  ප්‍රතිචාරයක් ලෙස ගම්මාන පිටින් මහා සංහාර සිදු කරන ලදී. වයස 18 ට වැඩි පිරිමින් ඌව වෙල්ලස්සේදී සංහාරයට ලක්වීම ඊට කදිම නිදසුනකි.

එක් එක් සියවස් හිදී නොයෙතුක් හේතූන් පාදක කොටගෙන මෙරටට පැමිණි විදේශික ජාතීන් ලක්දිව තම වාස භූමිය කොට ගෙන විසීමට පටන්ගත්හ.එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව බහුවාර්ගිකයන් සහ බහු ආගමිකයන් වෙසෙන රටක් බවට පත්විය.එම ජාතීන් පරම්පරාවෙන් පරම්පරාවට බොහෝ කලක් රටතුල අනුගත වීමෙන් සහ ඇතැම්විට අනෙකුත් ජාතීන් හා ආවාහ විවාහ වී මිශ්‍ර වී සම්භවය වීමෙන් ඔවුන් ක්‍රමයෙන් අනන්‍ය ශ්‍රී ලාංකික ජාතීන් ලෙස වඩාත් තහවුරු විය.මෙසේ සියවස් කිහිපයක් ගතවී වර්තමානයට පැමිණි විට අප රට තුල ජන වර්ග  විසි ගණනක් ජීවත් වන බව සැලකේ.20 වන සියවස පමණ වන විට ජාතිවාදයේ විසිකුරු බීජ ඉංග්‍රීසි පාලකයන්ගේ ආශිර්වාදය මත පතුරුවන්නට විය.පසුව එය නොයෙකුත් පුද්ගලයන් විසින් දේශපාලන ගුණ්ඩුවක් ලෙස භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපි වසර 30ක් පුරා ඇවිලුනු කුරිරු බෙදුම්වාදී යුද්ධයකට මැදිවීමු. නමුත් රණවිරුවන්ගේ අප්‍රතිහර්ත ධෛර්යය හා කැපකිරීම නිසා අද එම උවදුර පහව ගොස් ඇත.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ සුපිරි බිලියර්ඩ් ක්‍රීඩක M J M ලාෆිර්
අප රටේ කිතුගොස ලොව පුරා දසත පැතිරවීමේලා අප රටේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් ශ්‍රී ලාංකිකයන් ඉමහත් දායකත්වයක් සපයා ඇත. දේශපාලනය, කලාව , ක්‍රීඩාව , ආරක්ෂක අංශ යන සෑම අංශයක් විමසා බැලීමේදී කාහටත් මෙය ප්‍රත්‍යක්ශ වනු ඇත.අද අප රට වෙසෙන සියලු ජාතීන්ට මේ පොලවේ ඉපදුනු  මිනිසුන් ලෙස බොහෝ දක්ෂතා උපතින් ජානගතව රැගෙනවිත් තිබේ . ඉදිරියටද එය එසේම වනු ඇත.අප රට තුල සිටින සියළු ජන වර්ග එකිනෙකාගේ අනන්‍යතාවයන් කෙරෙහි ගරු කරමින් රටේ ඉතිහාසය මෙතෙක් ගලා ආ ආකාරය හොඳ හැටි විමසා බලා එහිදී සිදුවූ අඩුපාඩු හොඳහැටි අවබෝධ කොටගෙන තමා උපන් මාතෘ භූමියේ ස්වාධීනත්වය හා එහි අභිවෘද්ධිය උදෙසා කැපවුනු සියළු ජාතිකයන් ආදර්ශ කොට ගෙන මව් රට කෙරෙහි ස්නේහයෙන් සැබෑ පුරවැසියෙක් ලෙස ජීවත්වේනම් එමගින් ජාතික විරුවන් දහස් ගණනක් ජීවිත පුදා රැකගත් නිදහස පෙබරවාරි 4 වනදාට පමනක් නොව සදාකාලිකවම අර්ථවත් දෙයක් වනු ඇත.

අවසාන වශයෙන් මම අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනයක් හා සුනිල් ශාන්තයන් ගැයූ (පසුව අයිවෝ ඩෙනිස් මහතා විසින් මෙය ගායනය කරන ලදී.) ඔහුගේම තනු නිර්මාණයක් වූ මෙම ඉමිහිරි ගීතය සනිටුහන් කර තබමි.

දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

කන්දට කෙන්දට කොන්දට හුරුවී
රන් වන් අත සුරුවී
විපත පවා සැපතට හරවාලා
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු
නැඟැ නැඟැ යමු දියුණේ
බාධා වලටද බාධා ගෙනැ දී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වීර විකුම් පෑ ආදි මුතුන් ගිය
පාර අපේ උරුමේ
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැද
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

1 comment:

  1. අනිවාර්යයෙන් "බාධා වලටද බාධා ගෙනැ දී
    පෙරටමැ යමු ලංකා"

    ReplyDelete