Sunday, October 12, 2014

ක්‍රිකට් පන්දුවේ දෝලනයේ විද්‍යාත්මක පසුබිම...

                                                   ක්‍රිකට් පන්දුවේ දෝලනය යනු එක්තරා අන්දමක සුවිශේෂී කලාවකි.එය මනා පුහුණවකින් හා සංයමයකින් වේග පන්දු යවන්නෙක්ට අත්කර ගත හැකි කුසලතාවකි.ක්‍රීඩාංගණයට ඉහලින් වළාකුළු පිරුණු අහසක් පැවතීම ,මනාලෙස තණකොල විසිරුනු තණතීරුවක් තරගය සඳහා  සපයා තිබීම එම තරගය වේග පන්දුයවන්නට වාසි සහගත එකක් වන බව ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ඕනෑම කෙනෙක් දන්නා කරුණකි.නමුත් ක්‍රිකට් පන්දුවේ දෝලනය තරගය තුල සිදුකරන භූමිකාවේ විද්‍යාත්මක පසුබිම ඔබ දැන සිටියාද..?.පන්දුව හොඳින් ඉපිලී එන තණතීරුවක පිතිකරුවාට තර්ජනාත්මක ලෙස පන්දු යැවීම ඕනෑම දක්ෂ වේග පන්දුයවන්නකුට සිදුකල හැක.නමුත් එසේ නොවන,පන්දුව එතරම් ඉපිලී නොඑන මන්දගාමී තණතීරුවක එය එලෙසම කිරීම පහසු නොවේ.ක්‍රිකට් පන්දුවේ දෝලනයේ වැදගත්කම ඉස්මතු වන්නේ එවිටයි.දෝලනය හොඳින් සිදුකල හැකි වේග පන්දු යවන්නාට තණතීරුව මන්දගාමීද ,හොඳින් පන්දුව ඉපිලෙනවාද යන්න එතරම් ප්‍රශ්නයක් නොවේ.
1 රූපය : වේග පන්දු යවන්නකු පන්දුව ග්‍රහණය කලයුතු මූලික ආකාරය

ක්‍රිකට් පන්දුවක සාකච්ඡා කල හැකි දෝලන ආකාර විධි 3ක් ඇත.එනම් පිටත දෝලනය (Out Swing),ඇතුල් දෝලනය (In Swing) සහ ප්‍රති දෝලනය (Reverse Swing) යන ත්‍රිත්වයයි.මෙහිදී මෙම එක් එක දෝලනයන් සිදුවන ආකාරය පිළිබඳ වෙන වෙනම සාකච්ඡා කිරීම යෝග්‍ය වේ.සියළුම දෝලන ආකාර දකුණත් පන්දු යවන්නකුට සාපේක්ෂව පහත සාකච්ඡා කෙරේ.පන්දු යැවීමේ සීමාවට දිවවිත් පන්දුව මුදා හැරීමේදී සීමයේ දිශානතිය වෙනස් නොවන සේ සීමය මත වූ ඇඟිලි දෙක සීමය දිගේ පසුපසට ලිස්සවමින් පන්දුවට පසු පසට කරකැවෙන (Backspin) පරිදි පන්දුව ඉදිරියට මුදා හල යුතුය.එවිට දෙවන රූපයේ පරිදි අක්ෂය වටා පන්දුවේ භ්‍රමණය හේතුවෙන් පන්දුවේ සීමය මනා ලෙස ගුවනේ ගමන් කරන කාලය පුරා සිරස්ව ඉදිරියට යනු ඇත.එලෙස තබා ගැනීමෙන් පන්දුවේ සීමය දෙපස ගෝලාකාර ලෙදර් පෘෂ්ඨ අක්ෂය වටා භ්‍රමණය වෙමින් වාත ධාරා හා ගැටෙමින් ඉදිරියට යයි.
 
2 රූපය
පිටත  දෝලනය (Out Swing)

                                          ඉහත පලමු රූපයේ ඇති මූලික ග්‍රහණය තරමක් වෙනසකට භාජනය කරමින් පන්දුවේ සීමය (Seam) පලමු හෝ දෙවන ස්ලිප් ක්‍රීඩකයන් (Slip fielders) දෙසට එල්ල වන පරිදි තබා ගනී .කුමන දෝලනයක්  සඳහා වුවද පන්දුවේ එක් පැත්තක් තරගය පුරාම  දිළිසෙන පෘෂ්ඨයක් වශයෙන් තබාගැනීම අනිවාර්ය වේ.පන්දු රකින කණ්ඩායම එම ඉනිම පුරා පන්දුවේ එක් පසක් පමණක් අතුල්ලමින් අනෙක් පසට සාපේක්ෂව දිළිසීම තබා ගනිමින් වේග පන්දු යවන්නාට සහය වන්නේ එනිසාය.

3 රූපය : පන්දුව ඉහළින් බැලූවිට
පිටත දෝලනය සඳහා දිළිසෙන ගෝලාකාර පෘෂ්ඨය දකුණත් පිතිකරුවා දෙසට එල්ල වී තිබිය යුතුය.පන්දුව ගුවනේ  ගමන් කරන විට දිළිසෙන පෘෂ්ඨය හා ගැටෙන වාතධාරාව කිසිදු බාධාවකින් තොරව එමපස පිටත මායිම ඔස්සේ හොඳින් ගමන් කර පන්දුව හැර ඉක්මනින් යයි.නමුත් අනෙක් පස  වාතධාරා ගැටීමට ප්‍රථම පන්දුවේ සීමය හා ගැටී ආකූල තත්වයට පත්වේ.එසේ ආකූල වූ වාතධාරා රළු පෘෂ්ඨයේ පිටත මායිම ඔස්සේ ගමන් කිරීමේදී තවත් හොඳින් එම පෘෂ්ඨය හා එකට බැඳී ගමන් කරයි.එමනිසා ආකූල වූ වාතධාරා එම පෘෂ්ඨය අතහැර යන්නේ කලින් දිළිසෙන පෘෂ්ඨයේ  වූවාට වඩා ප්‍රමාදවයි.පන්දුවේ දෙපස වාතධාරවන්හී සිදුවන මෙම විෂමතාවයන් හේතුකොට ගෙන පන්දුවේ සීමය දිගේ වන්නට ඉදිරියට බලයක් ක්‍රියාකරයි.පන්දු යවන්නා පන්දුව පිතිකරුවා දෙසට එල්ල කිරීමේදී පන්දුවට බලය යොදන්නේ ඉදිරියටය.එමනිසා මෙම බල දෙකෙහි සම්ප්‍රයුක්තය හේතුකොට පන්දුව සීමය එල්ල වී ඇති දිශානතියට දකුණත් පිතිකරුවට සාපේක්ශව වක්‍රාකාර පථයකින් පිතිකරුවාගෙන් ඉවතට ගුවනේ දෝලනය වෙයි.එනම් පන්දුව පතිත කලයුතු තැන දක්වා එය පිටත දෝලනයක් පෙන්නුම් කරයි.

ඇතුල් දෝලනය (In Swing)

                                        පන්දුවේ ඇතුල් දෝලනය සඳහා ඉහත පිටත දෝලන සඳහා සාකච්ඡා කල සියළු කරුණු වල සම්පූර්ණ විලෝම ක්‍රියාවලිය සිදුවේ.විශේෂයෙන් සඳහන් කලයුතු දෙයකට වන්නේ මෙහිදී පන්දුවේ සීමය ආසන්න වශයෙන් පන්දුව මුදාහරීමේදී Fine leg ක්‍රීඩකයා පන්දු රකින දිශාවට වන්න තබාගත යුතුය යන්න පමණි.
4 රූපය : දකුණත් පිතිකරුවෙක්ට සාපේක්ෂව පිටත හා ඇතුල් දෝලනයන්  සහ ඒ සඳහා සීමයේ දිශානති ඉහළින් බැලූ විට
ප්‍රති දෝලනය (Reverse Swing) 

                                       ක්‍රිකට් පන්දුවේ ප්‍රතිදෝලනය කරළියට පැමිණෙන්නේ පකිස්තානුවන් සමඟිනි.මෙම දෝලනය ප්‍රථම වරට සිදුකර ඇති බවට වාර්ථාවන්නේ පකිස්තානු හිටපු වේග පන්දු යවන්නකු වන සර්ෆ්‍රාස් නවාස් (Sarfraz Nawaz) ය.නමුත් මෙය ප්‍රථම වරට වැඩි වශයෙන් ක්‍රියාකාරී ආයුධයක් බවට භාවිතකලේ පකිස්තානු පිලේ හිටපු නායකයකු මෙන්ම දක්ශ පන්දුයවන්නකු වූ ඉම්රාන් ඛාන් (Imran Khan) ය.පසුව 90 දශකයේදී මෙම දෝලන ප්‍රභේදය අති විශිෂ්ඨ අයුරින් වකාර් වසීම් යුගලය භාවිත කලහ (මොවුන් දෙදෙනා ක්‍රිකට් විචාරකයින් Two W's ලෙස හැදින්වීය).

5 රූපය : Sarfraz Nawaz , Imran Khan ,Wasim Akram ,Waqar Younis
වර්ථමානයේ ඕනෑම හොඳ වේගපන්දු යවන්නකු පන්දුවේ ප්‍රතිදෝලනය පිතිකරුවාගේ පන්දුවට පහරදීම අසීරු කිරීමට යොදාගනී.ඉනිම පුරා කාලයත් සමඟ පන්දුව පරණ වීමෙන් පසු මෙම දෝලනය ලබාගත හැක.මෙහිදී සිදුවන්නේ පිටත හා ඇතුල් දෝලන වලදී මෙන් නොව දිළිසෙන පෘෂ්ඨය තිබෙන දිශාවට පන්දුව දෝලනය වීමයි.එනම් පන්දු ඕවර 30ක් පමණ  ගතවීමේදී පන්දුවේ දෙපසම රළු තත්වයට පත්වේ.දිළිසුම තබා ගැනීමට උත්සාහකරන පෘෂ්ඨයද ඉනිමේ මුල් භාගයට සාපේක්ශව රළු භාවයට පත්වේ.

6 රූපය : පන්දුව ඉහළින් බැලූවිට
පන්දුව ගුවනේ ගමන් කිරීමේදී දෙපස හරහාම ගමන් කරන වාතධාරා ආකූල තත්වයට පත්වේ.ඉහත සඳහන් කල පරිදි පිටත දෝලනය සඳහා  මෙන පන්දුව ග්‍රහණය කර එල්ල කොට තිබුනේ නම් දිළිසෙන පෘෂ්ඨය රළුවී ඇති නිසා වාතධාරා එමපස පිටත මායිමේ පන්දුව හා බැඳී ගමන් කිරීම හේතුවෙන් ප්‍රමාද වී පන්දුව හැරයයි.අනෙක් පසද රළු පෘෂ්ඨයක් ලෙස පැවති අතර පන්දුව තවත් පරණ වීමෙන් තවත් රළුවී ඇත.තවද පන්දුවේ සීමය මඟින් එම පෘෂ්ඨය හරහා ගමන් කරන ආකූල වාතධාරාව තව තවත් ඝණ බවට පත්වීම නිසා එම ගන වාතධාරාව එම පෘෂ්ඨය කලින් හැරයයි.එනම් වාතධාරා වල විෂමතාවය නිසා පන්දුවට ඇතිවන බලය පන්දුවේ සීමය හරහා ඉදිරියට ක්‍රියකරයි.පන්දු යවන්නා පන්දුවට බලය යොදන්නේ ඉදිරියටය.එම නිසා පන්දුව මත බල දෙකෙහි සම්ප්‍රයුක්තය පිතිකරුවා තුලට වන දිශානතිය ඔස්සේ ක්‍රියාකරයි. පන්දුයවන්නා පන්දුව එල්ල කල ග්‍රහණය පිටත දෝලනයක් ලෙස වුවද ගුවනේදී පන්දුව භාජනය වන්නේ ඇතුල් දෝලනය වන පන්දුවක ක්‍රියාවලියකටය.එමනිසා පිතිකරුවා පන්දුවේ  සීමය එල්ල වී තිබෙන දිශානතිය සලකා පහරදීමට යැමෙන් මංමුලාවට පත්වේ.එනම් පිතිකරුවා තමාගෙන් එලියට ගමන් කරනවා යයි සිතන පන්දුව තමන් දෙසට පැමිණෙයි.මෙහි විලෝමයද එසේමය.පන්දුවේ සීමය ඇතුල් දෝලනයක් සඳහා සකසා තිබුනද පන්දුව පිටත දෝලනයක්  පෙන්නුම් කරයි.

නමුත් මෙම පන්දු යන්නාට වාසි ගෙන එන ප්‍රති දෝලනය ලබාගැනීමට පන්දුව ස්වභාවිකව පරණ වීමට පෙර පන්දුව නියපොතු වලින් පළුදු කිරීමේ වංචාකාරී අවස්ථා කිහිපයක් ඉතිහාසය තුල සිදුවී ඇත.කෙසේ හෝ වර්ථමානයේ එක්දින තරග සඳහා නව පන්දු දෙකක් භාවිත කිරීමේ නීතියත් සමඟ මෙම සිත් ඇඳගන්නා සුළු ප්‍රති දෝලන සංසිද්ධිය තරමක් තර්ජනයට ලක්වී ඇත.පන්දුව ප්‍රතිදෝලනය වීමට තරම් පරණ වීමට ප්‍රථම දෙවැනි නව පන්දුව ලබාදීම ඊට හේතුවයි.නමුත් ටෙස්ට් තරග වලදී තවමත් පන්දුව පරණ වීමත් සමඟ මෙම ප්‍රති දෝලනය පන්දුයවන්නන් භාවිත කරනු දැකගත හැක.

Saturday, October 11, 2014

කැරලිකාර සුනඛයා...


Loukanikos සුනඛයා
                  2011 වසරේ ග්‍රීසිය මුහුණදෙමින් පැවති දැඩි ආර්ථික අර්බුදය හමුවේ එරට රජයට එරෙහිව දැවැන්ත විරෝධතා පෙළපාලි රටපුරා උත්සන්නට විය.වීදී වල පොලිස් නිලධාරීන් හා ගැටෙන විරෝධතාකරුවන් , කදුළු ගෑස් ප්‍රහාර ඒ දිනවල සෑම මාධ්‍යයකම පාහේ සුලභ දසුනක් විය.මින් ග්‍රීසියේ ඇතැන්ස් නුවර විරෝධතා කරුවන් හා සිටි එක් චරිතයක් විශේෂිත විය. නමින් "Loukanikos" වූ මෙම සුනඛයා පොලිස් නිලධාරීන් වෙත බුරා පනිමින් කැරලිකරුවන්ට සහයෝගය දැක්වූ අතර පොලිස් කදුළු ගෑස් පහරවල්ද නොතකා විරෝධතාකරුවන් සමඟ සිටින්නට විය. මාධ්‍ය අවධානය හා ජනප්‍රියත්වය හේතුවෙන් මෙම සුනඛයා "The Riot Dog" (කැරලිකාර සුනඛයා) ලෙස ලොව පුරා ප්‍රචලිත විය.මෙම සුනඛයා සොසේජස් කෑමට තිබූ විශේෂ රුචිකත්වය නිසාම මෙම Loukanikos නම් අනුවර්ථ නම පටබැඳීමට හේතුවී ඇත.ග්‍රීක බසින් Loukanikos යනු ඌරු මසින් පිළියෙල කරන සොසේජස් වර්ගයකි.අයාලේ යන සුනඛයෙක් වුවත් පසුව Loukanikos ට විරෝධතාකරුවන් අතර සිටීම හේතුවෙන්ම ස්වාමියෙකුද හිමිවිය.

2012 වසරේ සිට ඇතනස් නුවර පැවති විරෝධතා සඳහා Loukanikos ගේ සහභාගීත්වයක් දක්නට නොම විය. නිතර පාහේ පොලිස් කදුළු ගෑස් ප්‍රහාර වලට ගොදුරු වීමත්,විරෝධතා අතරතුර පොලිස් පා පහර වලට ලක්වීමත්  නිසා Loukanikos ගේ සෞඛ්‍ය ක්‍රමයෙන් පිරිහීම ඊට හේතුවී  ඇත.කෙසේ හෝ අයහපත් සෞඛ්‍ය තත්වය මත මෙම සුනඛයා 2014 වසරේ ඔක්තෝම්බර් මස 10 වනදා මරණයට පත්විය.මියයනවිට Loukanikos ගේ වයස අවුරුදු 10 ක් විය.Loukanikos ගේ සිරුර ඇතන්ස් නගර මධ්‍යයේ පිහිටි උස් ස්ථානයක පිහිටා ඇති ගස් සෙවණක මිහිදන් කර බව ඇති බවට වාර්ථා වේ. මෙම සත්ත්වයාගේ සුවිශේෂී ක්‍රියාකලාපය හේතු කොටගෙන 2011 වසරේදී ලෝ සුප්‍රකට ටයිම් සඟරාව මඟින්  Loukanikos වසරේ පෞර්ෂත්වයන්ගෙන් එකක් ලෙස ලැයිස්තුගත කරන ලදී.

Loukanikos විරෝධතා අතරතුර

Monday, October 6, 2014

අඟහරු ගවේශණයේ අභිමානවත් ශ්‍රීලාංකීය සලකුණ - ආචාර්ය සරත් ගුණපාල...

ආචාර්ය සරත් ගුණපාල මහතා
                                 අභ්‍යවකාශ ගවේෂණයේ තීරණාත්මක කඩඉමක් 2012 වසරේ අගෝස්තු 6 වැනිදා සනිටුහන් විය.එනම් ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් නිපදවනු ලැබූ Curiosity (කියුරියෝසිටි) රොබෝ රෝවරය අඟහරු ග්‍රහයා මතට ගොඩබැසීමයි.මෙම යානය අඟහරු මතට යැවීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ එහි ජීවයක් පැවතීමට සුදුසු පරිසරයක් තිබේද යන්න සොයා බැලීමයි.මෙම යානයේ විද්‍යාත්මක තොරතුරු හැදෑරීමට උපකරණ 8 ක් ඇත.එනම් සෑම්,කෙම් මින්,කෙම් කැම්...යනාදී ලෙසය.මෙහි සෑම් යන උපකරණයේ විද්‍යාත්මක තොරතුරු ගවේෂණයට උපකරණ 6ක් ඇත. මෙහිදී ශ්‍රීලාංකික අපටද ආඩම්බර විය හැකි කරුණක් ඇත. එනම් මෙහි සෑම් උපකරණය තුල සකස් කර ඇති TLS (Tunable Laser Spectrometer) උපකරණයේ ලේසර් නිර්මාණය කිරීමට කීර්තිමක් විද්‍යාඥයෙක් වන ආචාර්ය සරත් ගුණපාල මහතා මූලිකත්වය ගෙන කටයුතු කර තිබීමයි.සරත් ගුණපාල මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා ඇති අතර උසස් අධ්‍යාපනය පිළිවෙලින් කොළඹ සරසවිය සහ ඇමෙරිකාවේ Pittsburgh සරසවිය තුල ලබාගෙන ඇත.මොහු දැනට ඇමෙරිකාවේ NASA ආයතනයේ Jet Propulsion විද්‍යාගාරයේ ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙක් සහ කණ්ඩායම් අධීක්ෂකයෙක් වශයෙන් කටයුතු කරයි.
Curiosity රෝවරය
                                ග්‍රහලොවක මෙතේන් වායු (Methane Gas) ප්‍රධාන වශයෙන් 2 ක් පැවතිය ඇත.ග්‍රහලෝක බිහිවීමේදී ඇතිවන මෙතේන් වායුව හා ජීවීන් විසින් පිටකරන මෙතේන් වායුවයි.මෙම අවස්ථා දෙක නිසා ඇතිවන මෙතේන් වායු 2 හි වෙනස්කම් ඇත.මෙහිදී අඟහරු ගවේෂණයේ ප්‍රධාන කර්තව්‍ය වන්නේ ජීවින් විසින් පිටකල මෙතේන් වායුව ඇත්දැයි සොයාගැනීමය.එසේ සොයා ගැනීමට හැකි වුවහොත් ,අඟහරු මත කවදා හෝ ජීවය පැවති බවට තහවුරු වේ.තවද එම ජීවය කොපමණ කාලයකට පෙර තිබුනේද යන්නද සොයාගත හැක.තවද මෙම "කියුරියෝසිටි" රොබෝ රෝවරය මඟින් අඟහරු මත ඇති පාෂාණ විශ්ලේෂණය කිරීමේ හැකියාවෙන්ද සමන්විතවේ.මෙම රෝවරය ලෝහ මඟින් සාදන ලද රෝද 6 ක් මත චලනය වේ.මෙම රෝද විදුලි මෝටර මඟින් ක්‍රියාකෙරවේ.මෙම මෝටර වලට විද්‍යුතය ලැබෙනුයේ RTG (Radioisotope Thermal Generator) මඟින් ලබා දෙන පරමාණු බලයෙනි.

Sunday, October 5, 2014

ඩොනලඩ් බ්‍රැඩ්මන් ගේ ලංකා සංචාර...

ඩොනලඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩා කිරීමට පිටියට එන අවස්ථාව
                      ක්‍රිකට් ඉතිහාසය තුල බිහිවූ අසහායතම පිතිකරුවා ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ශ්‍රීමත් ඩොනලඩ් බ්‍රැඩ්මන්ය (Donald George Bradman).ටෙස්ට් තරග 52 කදී ඉනිම 80ක් ක්‍රීඩාකර ලකුණු 6996 ක් ලබාගෙන ඇති මොහු පිතිකරණයේදී 99.94 ක සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ.ශ්‍රීමත් ඩොනලඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩා කරන සමයේ ඕස්ට්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම අවස්ථා 4 කදී ශ්‍රිලංකාවට පැමිණ ඇත.එනම් 1930,1934,1938 සහ 1948 වසර වලදීය.මේ සෑම සංචාරයක්ම ඕස්ට්‍රේලියානු පිල වෙනත් විදෙස් සංචාර සඳහා නැව් නැග ගමන් කිරීමේදී කොළඹ වරායේ ඔවුන් රැගත් නැව තාවකාලිකව නවතා තිබූ කාලය තුල යොදාගත් තරඟ සංචාරයන් විය.1930 අප්‍රේල් 2වනදා ලංකා කණ්ඩායම සමඟ ආරම්භ කල තරගයේ පලමු ඉනිමට ඕස්ට්‍රේලියානු පිල සියළු දෙනා දැවී 233 රැස්කල අතර එම තරඟයේ ඩොන් බ්‍රැඩ්මන් තමන් විසින්ම කඩුල්ල අහිමි කරගැනීමේ අවස්ථාවට (Hit Wicket) ගොදුරු විය.ඩොනලඩ් බ්‍රැඩ්මන් දවාලූ පන්දු යවන්නා N.S.Joseph නම් විය.අනතුරුව ලංකා කණ්ඩායම තම ඉනිමට කඩුළු 1 කට ලකුණු 52ක් රැස් කල අතර වැස්සෙන් බාධා ඇතිවූ නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.1934 හා 1938 මෙරට පැවති තරඟ සඳහා බ්‍රැඩ්මන් ක්‍රීඩා නොකල අතර එයින් 1938 දී පැවති තරගය සඳහා සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ක්‍රීඩා නොකලේය.ඩොනලඩ් බ්‍රැඩ්මන් 1937-38 සිට 1948 තෙක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබාදුන් අතර ඔහු මෙරට තුල අවසාන වරට ක්‍රීඩා කලේ 1948 වසරේය.මේ කාලය වන විට ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ මහාදේවන් සතාසිවම්ය.එම තරගය එම වසරේ මාර්තු 27 වැනිදා පැවති අතර ඔහු අවසාන වරට මෙරට තුල ක්‍රීඩා කරන අයුරු දැකගැනීමට කොළඹ ඕවල් (P.සරවනමුත්තු) ක්‍රීඩාංගණයට 20000 අධික ක්‍රීඩාලෝලී ප්‍රේක්ශකයන් සංඛ්‍යාවක් රැස්ව සිටි බව වාර්ථා වේ. B. Russell Heyn යැවූ පන්දුවක් හමුවේ R.L. De Krester ගේ අතට උඩපන්දුවක් ලබාදීමෙන් බ්‍රැඩ්මන් ලකුණු 20කට දැවී ගියේය.ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 4 කට 184ක් රැසකර සිටියදී දිනය සඳහා තරගය නිමවීමට පැයක් තිබියදී ඉනිම අත්හිටවූ අතර ලංකා කණ්ඩායම කඩුළු 2කට ලකුණු 46ක් රැස් කල අතර වර්ෂාව නිසා තරගය අත්හිටුවීමට සිදුවිය.මෙම තරගයේ එක්තරා අපූරු දෙයක් සිදුවිය.එනම් ක්‍රීඩාකරන තණතීරුව සම්මත දිග ප්‍රමාණයට වඩා අඩි 2ක් කෙටි බව බ්‍රැඩ්මන් විසින් විනිසුරුවන්ට පැමිණිලි කර ඇති අතර පසුව  පන්දුයවනන් පන්දු යැවීමේ සීමාවට වඩා අඩි 2ක් පිටුපසින් සිට පන්දු යවා ඇත.අදටත් ශ්‍රීමත් ඩොනලඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩා කිරීමට පිටියට එන අවස්ථාව රැගත් පින්තූරය P.සරවනමුත්තු ක්‍රීඩාංගණය තුල ඇත.
බ්‍රැඩ්මන් සහ සතාසිවම් කාසියේ වාසිය උරගා බලයි
ලංකා කණ්ඩායම පන්දු රැකීමට පිටියමට පිවිසීම (1948)

Saturday, October 4, 2014

ඔස්කාර් එපා කියූ මාර්ලන් බ්‍රැන්ඩෝ...

                                       හෙතෙම තම රංගන ප්‍රතිභාව තුලින් ලෝක අවධානය දිනාගත් විශිෂ්ටයෙකි.ඇතැමුන් පවසන පරිදි ඔහු තමන් ජීවත් වූ පරම්පරාව තුල සිටි විශිෂ්ටතම සිනමා රංගධරයාය.ඔහු අන් කිසිවකු නොව මාලන් බ්‍රැන්ඩෝය.තාත්වික රංගනය තුලින් නිබඳ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් මොහු මුල්වරට ජනප්‍රියතාවයට පත්වන්නේ 1951 වසරේ A Streetcar Named Desire සිනමාපටය සමඟිනි.එය ඔහු එවකට පැවති ඔස්කාර් සම්මාන උළල සඳහා නිර්දේශ වීමට හේතුවිය.එමෙන්ම එය ඔහු ඔස්කාර් උළෙලක් සඳහා නිර්දේශ වූ ප්‍රථම අවස්ථාවද එය විය.සාර්ථක සිනමා රංගනයන් කිහිපයකට පසු ඔහු 1954 වසරේදී On the Waterfront චිත්‍රපටය සඳහා එවක පැවති ඔස්කාර් උළලේ හොඳම නළුවා බවට පත්විය.නමුත් 1960 දශකය තුල ඔහු රංගනයේ යෙදුනු චිත්‍රපට බොහොමයක් අදායම් අතින් එතරම් යහපත් ප්‍රවණතාවයක් පෙන්නුම් නොකරන ලදී (box office failures) .1970 උදාවත්ම දශකයකට ආසන්නව පැවති අයහපත් තත්වය දුරලමින් 1972 වසරේ තිරගත වූ The Godfather චිත්‍රපටයත් සමඟ තම රංගනයේ විශිෂ්ටත්වය නැවතත් ඔහු පෙන්නුම් කලේය.එය ඉහල ආදායම් වාර්ථා අත්කරගත් අතර ඔස්කාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටය,හොඳම නළුවා සහ හොඳම තිරපිටපත යන අංශ යටතේ සම්මානයට පාත්‍ර විය. මෙම චිත්‍රපටයේ Vito Corleone නම් චරිතය බ්‍රැන්ඩෝ  නිරූපණය කලේය.The Godfather චිත්‍රපටය එතෙක් මෙතෙක් ලෝක සිනමාවේ බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට අතරින් එකක් ලෙස සැලකේ.මෙම චිත්‍රපටය මාලන් බ්‍රැන්ඩෝ ගේ පුනරාගමනය සිදුවූ චිත්‍රපටය ලෙස සැලකේ.ඇමෙරිකාවේ විසූ ඉතාලි සම්භවයකින් යුතු ලේඛකයෙක් වන Mario Puzo ගේ The Godfather නවකතාව පදනම් කොටගෙන මෙම චිත්‍රපටය නිර්මාණය විය.

මාලන් බ්‍රැන්ඩෝ The Godfather හි Vito Corleone ලෙසින්
                                 සැබවින්ම මෙම ලිපියට අදාල වන සිදුවීම හා එහි පසුබිම මෙම චිත්‍රපටය සම්මානයට නිර්දේශ වූ 45 වන ඔස්කාර් උළෙල හා බැඳී පවතී.ඔස්කාර් සම්මාන උළෙලක හොඳම නළුවා වීම යනු රංගන ශිල්පියෙක්ට ලැබිය හැකි ඉහලම ගෞරවයකි.නමුත් 1973 වසරේ පැවති ඔස්කාර් උළෙලේදී එම ගෞරවය ප්‍රතික්ශේප කිරීමට මාලන් බ්‍රැන්ඩෝ තීරණය කලේය.ජයග්‍රාහකයාගේ නම නළු Roger Moore (James Bond චරිතය වැඩිම වාරගණනක් මෙතෙක් රංගනයේ යෙදී ඇත්තේ Roger Moore විසින්ය.) විසින් ප්‍රකාශයට පත් කලවිට කාගෙත් අවධානය දිනාගනිමින් වේදිකාවට පිවිසියේ රතු ඉන්දියානු කතකි.ඇය නමින් Sacheen Littlefeather වූ අතර උපතින් රතු ඉන්දියානු ඇපචේ ගෝත්‍රික කතක් විය.රතු ඉන්දියානුවන්ගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියක් වූ ඇය එවකට  National Native American Affirmative Image නම් කමිටුවේ සභාපති ධූරය හෙබවූවාය.කුඩා ලියමනක්ද සහිතව වේදිකාවට පිවිසි ඇය තමා හඳුන්වාදීමෙන් අනතුරුව මෙලෙස කතාවට මුල පිරුවාය.

"I'm representing Marlon Brando this evening and he has asked me to tell you that he very regretfully cannot accept this very generous award. And the reasons for this being are the treatment of American Indians today by the film industry.................."
 
Sacheen Littlefeather
කාලය සීමිත බැවින් කෙටියෙන් අවශ්‍ය කරුණු ඉදිරිපත් කල ඇය උත්සවයෙන් පසු මාධ්‍ය හමුවේදී විස්තරාත්මකව අදහස් දැක්වීම සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර සිටියාය.ශාලාවේ සිටි ඇතැමෙක් ඇයගේ කතාව අතරතුර ඇයට අප්‍රසාදජනක බව හඟවමින් ශබ්ද නැගූ අතර තවත් පිරිසක් ඇය දිරිගන්වමින් අත්පොලසන් දෙන්නට විය.ඇයගේ කතාවත් සමඟ බ්‍රැන්ඩෝ සම්මාන උළෙල ප්‍රතික්ශේප කිරීමට හේතුවූ කරුණු හෙළිදරව් විය. එය මෙලෙසය.        

                                1973 යනු ස්වදේශික රතු ඉන්දියානුවන්ට ඇමෙරිකානු සිනමාව,රූපවාහිනී මාධ්‍ය තුල කුඩම්මාගේ සැලකිලි ලැබෙමින් පැවති කාල වකවානුවකි.කිසිදු ප්‍රධාන චරිතයක් ස්වදේශිකයකුට ලබා නොදීම මෙන්ම හුදෙක් සිනමා කර්මාන්තයේ අතිරේක කටයුතු සඳහා පමණක් සහභාගී කර ගැනීම සිදුවෙමින් පැවතිණි.මෙම කාලසීමාව වනවිට තවත් අර්බුදයක් උද්ගතවෙමින් පැවතිනි.දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ පිහිටා ඇති Wounded Knee නම් ප්‍රදේශයේදී  The American Indian Movement (AIM) සාමාජිකයන් හා ඇමෙරිකානු ෆෙඩරල් නිලධාරීන් අතර පැවති ගැටුමයි.(දෙපර්ශවය අතර දරුණු ගැටුම් පැවති අතර 1973 මැයි 8 වනදා AIM නායකයන් යටත් වීම සිදුවිය.මෙම ප්‍රදේශය තුල 1890 වසරේදී පවා ඇතිවූ ගැටුම් හේතුවෙන් ඇමෙරිකානු රජයේ හමුදා මඟින් ස්වදේශික රතු ඉන්දියානුවන් විශාල වශයෙන් ඝාතනය විය.)

කෙසේ හෝ මාලන් බ්‍රැන්ඩෝ සිදුකල මෙම ක්‍රියාව මඟින් ස්වදේශික රතු ඉන්දියානුවන් මුහුණදෙමින් සිටි අවාසනාවන්ත තත්වය මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාව හමුවේ ප්‍රකාශ කොට ඊට අවධානය ලබාගැනීමට හැකිවිය.

Friday, October 3, 2014

උල්කාෂ්මයක් සහ සාමන්‍ය ගල් කැබැල්ලක් වෙන් කර හඳුනාගතහැකි සරල පරීක්ෂණ කිහිපයක්...


අභ්‍යවකාශයේ විසිරී පවතින පාෂාණමය සුන්බුන් කැබලි පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවී නිතරම පාහේ පොළව දෙසට ඇදී එයි. මෙවැනි කොටස් පෘථිවියේ වායුගෝලය තුලින් අධික වේගයෙන් ගමන් කිරීමේදී උශ්ණත්වය වර්ධනය වී ගිනිගෙන දැවීමට ලක්වේ.වායුගෝලය තුලින් ගමන් කිරීමේදී එහි පැවැත්ම  එහි ස්කන්ධය සහ එය ගමන් කරන වේගය මත තීරණය වේ.මෙම කඩාවැටෙන උල්කාපාතවල කොටස් කළු පැහැති විලයනයට ලක්වූ කබොලකින් (Fusion crust) සමන්විත වේ. කිසියම් හෝ උල්කාපාත කොටසක් වායුගෝලය හරහා ගමන් කර නොනැසී පොළවට පතිත වේ නම් එම කොටස උල්කාෂ්මයක් ලෙස හැඳින්වේ.

ලෝකයේ නන් දෙසින් උල්කාපාත කඩා වැටීම් අසන්නට  ලැබේ. ලංකාවේද පසුගිය කාලයේ මෙවැනි සිදුවීම් අසන්නට ලැබුනි.නමුත් උල්කාෂ්ම යැයි ඇතැමුන් හඳුනාගන්නා ගන්නේ අස්වාභාවික හැඩයෙන් යුත් සාමාන්‍ය පාෂාණ කොටස්ය. මෙසේ වැරදියට හඳුනාගන්න උල්කාෂ්ම ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයේ Meteor - Wrong ලෙසින් හැඳින්වේ. මෙහිදී ඉදිරිපත් කිරීමට යන්නේ වැඩිදුර විද්‍යාගාර පරීක්ෂණ වලට යොමුකිරීමට ප්‍රථම ඕනෑම පුද්ගලයෙකුට තමන් උල්කාෂ්මයක් යැයි සැක කරන පාෂාණය සරල උපකරණ කිහිපයක ආධාරයෙන් පිරික්සිය හැකි  හැකි සම්මත සරල පරීක්ෂණ කිහිපයක් ගැනය.

චුම්බක පරීක්ෂණය


උල්කාෂ්මවල යකඩ බහුලව පවතී.කුඩා චුම්බකයක් (Refrigerator Magnet වැන්නක් වුවත් සෑහේ ) නූලකින් එල්ලා උල්කාෂ්මය වෙතට ගෙන ඒමේදී එය ගල දෙසට ආකර්ශණය නොවේ නම් එය නිසැකවම උල්කාෂ්මයක් නොවේ.ආකර්ෂණය වේ නම් එය උල්කාෂ්මයක් හෝ යකඩ අඩංගු පාෂාණයක් විය හැක.එයින් පෙනී යන්නේ  තව දුරටත් පාෂාණය පරික්ෂා කලයුතු බවයි.





ස්වභාවය පිරික්සීම

මෙහිදී පාෂාණයේ ස්වභාවය සලකා බලයි. උල්කාෂ්මයක් නම් හිල් සහිත ස්වභාවයක් තිබිය නොහැක.උල්කාෂ්මය වටා අධික උණුසුම නිසා විලයනයට ලක්වූ කබොලක් තිබිය යුතුය.මන්ද එය පෘථිවිය කරා එන්නේ වායුගෝලය හරහා ගිනිගෙන දැවෙමින්ය.උල්කාෂ්මය පෘථිවියට පතිත වන විට එහි ඇත්තේ පිරිසිදු යකඩය.නමුත් ක්‍රමයෙන් කල් ගතවත්ම ඔක්සිකරණය හේතු කොටගෙන එය රතු පැහැ හෝ තද දුඹුරු පැහැයට හුරුවිය හැක.උල්කාෂ්මයකට තියුණු උල් සහිත ස්වභාවයක් තිබිය නොහැක.ඉහත ගුණ තිබේ නම් මෙම පරික්ෂණය සමත් ලෙස සැලකිය හැකිවුවත් උල්කාෂ්මයක්මද යන්න තව පරීක්ෂණ කිහිපයක් ඇසුරෙන් තහවුරු කරගත යුතුය.

රේඛා පරීක්ෂණය

මෙහිදී උල්කාෂමය යැයි සැකසිතෙන පාෂාණය රළු පෘෂ්ඨයක අතුල්ලා එහිදී ඇතිවන  පැල්ලමේ වර්ණය සලකා බලයි. පැල්ලම වර්ණයක් ලබාදෙයි නම් එය උල්කාෂ්මයක් විය නොහැක.බොහෝවිට මෙවැනි පරීක්ෂණ වලදී හීමටයිට් පාෂාණ රතු පැල්ලමක්ද මැග්නටයිට් පාෂාණ කළු පැල්ලමක්ද ලබාදෙයි.


කවුළු පරික්ෂණය

මෙම පරීක්ෂණයේදී අදාල පාෂාණයේ විදුම් යතක් ආධාරයෙන් කුඩා සමතල කවුළුවක් සදාගනී.එහිදී පාෂාණයේ ඇතුලත සංයුතිය නිරීක්ෂණය කල හැකිවෙයි.තැනින් තැන විසිරුණු දිළිසෙන ලෝහ පුල්ලි වැනි ස්වභාවයක් තිබේ  නම් එය උල්කාෂ්මයක් වීමට බොහෝ ඉඩකඩ ඇත. පුල්ලි ස්වභාවයක් තිබේනම් එය හොඳින් නිරීක්ෂණය කිරීමට ජලයෙන් එම ස්ථානය සේදීමෙන් හැකි වේ.



ක්ෂේත්‍රය තුලදී කල හැකි ඉහත සියළු සරල පරීක්ෂණ සඳහා සැකසහිත පාෂාණය ධනාත්මක ප්‍රතිචාර දක්වයි නම් වැඩිදුර පරීක්ෂණ වලට පෙරම මෙය බොහෝ සෙයින්ම උල්කාෂ්මයක් බව තහවුරු කර ගත හැක.

Wednesday, October 1, 2014

ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන කළු පැල්ලම...

අන්දෝලනාත්මක සිදුවීම
                                                 1981 වසරේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඉන්දියාව අතර තුන්කොන් එක්දින තරගාවලියක් පැවතිනි.එය නමින් Benson & Hedges World Series Cup විය.මෙම තරගාවලියේ අවසන් වටයට පැමිණීමට  ඕස්ට්‍රේලියව සහ නවසීලන්තය සමත් විය.අවසාන වටය තරග 5 කින් සමන්විතව තිබූ අතර ඒ වන විටත් තරග 2ක් පවත්වා තිබූ අතර එම තරග දෙක 1-1 ලෙස දෙපිලම සම සමව ජයග්‍රහණය කර තිබූ අතර තෙවැනි තරගය MCG (Melbourne Cricket Ground) ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සියල්ල සූදානමින් පැවතිනි. එකල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස ග්‍රේග් චැපල් කටයුතු කල අතර ජෙෆ් හොවාත් විසින් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලැබීය.
                                              පලමුව පන්දුවට පහර දීම ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිදුකල අතර ඔවුන් පන්දුවාර 50 තුලදී කඩුලු 4ක් දැවී  ලකුණු 235ක් රැස්කරන ලදී.පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටි නවසීලන්ත කණ්ඩායමට අවසාන පන්දු ඕවරය තුල ලකුණු 15ක් ගැනීමට තිබූ අතර අවසාන පන්දු ඕවරය යැවීම සඳහා ට්‍රෙවෝ චැපල් සූදානම්ව සිටියේය.කෙසේ හෝ අවසාන පන්දුවාරය තුල කඩුලු කිහිපයක්ද අහිමි කරගනිමින් ජයග්‍රහණය සඳහා අවසාන පන්දුවට නවසීලන්ත කණ්ඩායමට ලකුණු 7ක් අවශ්‍යව තිබුණි.හයේ පහරක් එල්ල කිරීමට හැකිනම් තරගය නවසීලන්ත පිලට ජය පරාජයෙන් තොරව අවසාන කර ගැනීමට හැකිව තිබුණි.අවසාන පන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර ට්‍රෙවෝ අසලට පැමිණි ඕස්ට්‍රේලියානු නායක ග්‍රේග් චැපල් අවසාන පන්දුව බිම දිගේ යැවීමට (Underarm bowling) සොයුරු ට්‍රෙවෝ ට උපදෙස් දුනි.ඒ වන විටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නීතීන් තුල එසේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන කරුණක් ලෙස සඳහන්ව නොතිබිණි.කෙසේ හෝ ක්‍රීඩාවේ ජීව ගුණයට කළු පැල්ලමක් එක් කරමින් ට්‍රෙවෝ විසින් නායකයා උපදෙස් දුන් ආකාරයට පන්දු යැවීම සිදුකල අතර පන්දුවට මුහුණ දුන් පිතිකරු බ්‍රයන් මැක්කෙච්නි පන්දුවට ආරක්ෂිත පහරක් එල්ල කිරීමෙන් අනතුරුව කෝපයෙන් තම පිත්ත පසෙකට විසිකරනු ලැබීය.මෙම සිදුවීම වනවිට තරගයේ විස්තර විචාරය කරමින් සිටි ඉයන් චැපල් (ග්‍රේග් සහ ට්‍රෙවෝ දෙදෙනාගෙම වැඩිමල් සොහොයුරා) මෙම ක්‍රියාව හෙලා දකිමින් ප්‍රතිචාර දක්වා ඇති අතර තරගයෙන් අනතුරුව එවකට නවසීලන්ත අගමැති ලෙස සිටි රොබර්ට් මුල්ඩූන් මෙය ක්‍රිකට් ඉතිහාසයේ තමන් දුටු අප්‍රසාදජනකම සිදුවීම ලෙස ප්‍රකාශ කර සිටියේය.මෙම සිදුවීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ක්‍රීඩාවේ ජීව ගුණයට අහිතකර මෙම පන්දුකරණය තහනම් කරන ලදී.

එවකට විශ්‍රාම ගෙන සිටි ඇතැම් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් පවා එකල මෙම සිදුවීම පිලිකුලෙන් යුතුව හෙලා දැක තිබුනි.මේ ඉන් කිහිපයක්.

"Yesterday one-day cricket died, and Greg Chappell should be buried with it" - හිටපු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කීත් මිලර්.
"I am very disappointed at Australia's win-at-all-costs attitude" - හිටපු ඕස්ට්‍රේලියානු නායක ඩොන් බ්‍රැඩ්මන්.
"One of the worst things I have ever seen on a cricket field." - හිටපු ඕස්ට්‍රේලියානු නායක රිචී බෙනෝ.
                                      කෙසේ හෝ මෙම සිදුවීම නැවතත් කරළියට ගෙන ඒමට ඕස්ට්‍රේලියානු පිලේ හිටපු සුපිරි වේග පන්දු ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් සමත් විය.ඒ 2005 වසරේ පෙබරවාරි 17 වන දින නවසීලන්ත පිල හා ඊඩ්න් පාර්ක් ක්‍රීඩංගණයේ පැවති 20 -20 තරගයේදීය.එය ඉතිහාසයේ ප්‍රථම 20-20 තරගයද විය.ඉනිමේ අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කරමින් සිටි මැක්ග්‍රාත් එහි අවසන් පන්දුව 1981 වසරේ ට්‍රෙවෝ චැපල් කල අයුරින්ම පන්දුව බිම දිගේ යැවීමට සූදානම් විය.පිතිකරු ලෙස ක්‍රීඩාකරමින් සිටියේ කයිල් මිල්ස් ය.එහෙත් විනිසුරු ලෙස සිටි බිලී බවුඩන් රතු කාඩ්පතක් පෙන්වා මැක්ග්‍රාත් තරඟයෙන් ඉවත් කරන ලද ක්‍රීඩකයෙක් ලෙස සනිටුහන් කලේය.මෙය හුදු විනෝදය සඳහා දැනුවත්ව සිදුකල ක්‍රියාවක් වූ අතර එම තරගයෙන් ඕස්ට්‍රේලියානු පිල ජය ලැබීය.
විනිසුරු බිලී බවුඩන් මැග්‍රාත්ට රතු කාඩ්පත පෙන්වීම

Monday, September 29, 2014

සුන්දර මාකෙළි ඇල්ල...

මාකෙළි ඇල්ල
                     ලංකාවේ දිය ඇලි ගැන කතාකිරීමේදී බොහෝ දෙනෙකුගේ අවධානය නිතැතින්ම යොමුවන්නේ ලංකාවේ මධ්‍යම කඳුකරය දෙසටය .නමුත් අප ඔබට මෙහිදී විස්තර කිරීමට යන්නේ මධ්‍යම කඳුකරයේ දිය ඇලි හා සම සුන්දරත්වයේ ලා සැලකිය හැකි කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර දිය ඇල්ලක් පිළිබඳවයි.මෙය නමින් "මාකෙළි ඇල්ල" වේ.ඔබ පාහියන්ගල සංචාරයේ යෙදෙන්නෙක් නම් ඔබට මෙම දිය ඇල්ල නැරඹීමේ අවස්ථාව පහසුවෙන් උදාකරගත හැක.ඔබ බුලත්සිංහල හරහා සංචාරයේ යෙදෙන්නෙක් නම් බුලත්සිංහල -පරගොඩ මාර්ගයේ පරගොඩ පසු කරමින් මෝල්කාව හන්දියට පැමිණ කෙලින් කන්ද ප්‍රදේශයට ගමන්කිරීමේදී මෙම දිය ඇල්ල නැරඹිය හැක.උසින් 15 m ක් පමණ වන මෙම දිය ඇල්ල මඳක් දුර සිට නරඹන්නෙකුට මනාලියකගේ වේලයක් (Bride’s veil) ආකාරයෙන් දිස්වේ.මෙම දිය ඇල්ල ආශ්‍රිත පෙදෙස අතීතයේදී පවා ගිරි දුර්ග,ජල දුර්ග වලින් සමන්විත පෙදෙසක් වූ බැවින් එවක යුධමය අවස්ථා වලදී ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස භාවිත කර ඇත.මෙම දිය ඇල්ල ආශ්‍රිත ජල පෝෂිත පෙදෙස වර්ග කිලෝමීටර 11 කට හිමිකම් කියයි.මෙම ප්‍රදේශයට නිරිත දිග මෝසම මගින් තද වැසි ලැබෙන අතර වාර්ෂික වර්ෂාපතනය 4000 mm පමණ වේ.නමුත් මෙහිදී සඳහන් කලයුතු වැදගත්ම කරුණ වන්නේ මෙම දිය ඇල්ල කරා යන ඔබ මෙහි සුන්දරත්වය එය නැරඹීමෙන් පමණක් විඳගන්න.මෙම ස්ථානයේ ස්නානය කිරීමට කිසිසේත්ම සුදුසු නැත.මන්ද මෙම දිය ඇල්ල හා ඒ අවට පෙදෙස අධික ගැඹුරකින් යුක්ත වන බැවිනි.මෙම අලංකාර ඡායාරූපවල සම්පූර්ණ අයිතිය ජපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරී තනුර අමරතුංග සොයුරා සතුය .



ලංකා කැහිබෙල්ලා...

ලංකා කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie)
                                           මෙම කුරුල්ලා ශ්‍රී ලංකාවට ආවේණික ඒකදේශික සත්ත්වයෙකි.හිස ගෙල මුළුමනින්ම දුඹුරු පැහැයක් ගන්නා මෙම සත්ත්වයාගේ උදරය සහ පෙදය මුළුමනින්ම නිල් පැහැයක් ගනී.පිහාටු යුගලයේ මුල සිට මැද දක්වා නිල් පැහැයද මැද සිට අග දක්වා දුඹුරු පැහැයද ඇත.කැහිබෙල්ලා විලෝපික කුරුල්ලෙකි.ගස් ගෙම්බන්,හූනන්,දළඹුවන් සහ තවත් කුඩා කුරුමිණියන් මෙන්ම කුඩා උරගයින් තම ආහාර ලෙස මූ ගොදුරු කරගනියි.කැහිබෙල්ලා ඉතා ලැජ්ජාශීලී කුරුල්ලෙකි.නමුත් ඉතා ජවසම්පන්න සත්ත්වයෙකි.දවසේ වැඩි කාලයක් ආහාර සොයමින් අතු පතර ගැවසේ.
                                            දැකීමට ඉතා දුර්ලභ මෙම පක්ෂියා තනිව හෝ ජෝඩු වශයෙන් දර්ශනය විය හැක.අවුරුද්දේ මුල් කාර්තුව තුල බිත්තර දමන මෙම කුරුල්ලන් වරකට බිත්තර තුනක් හෝ පහක් හෝ දමයි.මෙම බිත්තර දුඹුරු පැහැති ලප සහිත සුදු පාට ඒවා වේ.මෙම කුරුල්ලාගේ කූඩු දැකීම එතරම් පහසු කටයුත්තක් නොවන අතර මෙම පක්ෂියා තෙත් වනාන්තර මූලික කොට ගෙන වාසය කරයි.

හඳ මාමා ගැන තොරතුරු බිඳක්...


                                අපේ චන්ද්‍රයා අපට සිටින එකම පරිවාර ග්‍රහයා වේ .එමෙන්ම සෞරග්‍රහමණ්ඩලය තුල තිබෙන විශාලත්වයෙන් 5 වෙනි තැන ගන්නා චන්ද්‍රයා අපේ සඳයි .මෙහි විෂ්කම්භය පෘථිවියේ විශ්කම්භයෙන් 1/4 වන අතර ,පෘථිවියේ ස්කන්ධයෙන් 1/81 පමණ වෙනවා.තවද සඳ පෘථිවිය සමඟ සමමුහුර්තක භ්‍රමණයක් සිදු කරයි.(එනම් සෑම විටම සඳේ එකම මුහුණතක් පෘථිවිය දෙසට එල්ල වී පවතී).සූර්යයා ට පසු අපට අහසේ දැකිය හැකි දීප්තිමත්ම වස්තුව සඳයි.නමුත් මෙම දීප්තියට හේතුව අප කවුරුත් දන්නා පරිදි සූර්යයා ගේ ආලෝකය චන්ද්‍රයා මතට වැටී පරාවර්තනය වී අපට දිස්වීමයි.සඳේ ගුරුත්වාකර්ශනයේ බලපෑමක් ලෙස සාගර උදම් රළ ඇතිවේ.තවද චන්ද්‍රයා සිටින කක්ෂයට දුර පෘථිවියේ විෂ්කම්භය මෙන් තිස් ගුණයක් පමණ වේ. 

                                             සඳ යනු පෘථිවිය හැරුණු කොට අභ්‍යවකාශයේ මිනිස් පා පහසක් ලැබූ එකම අභ්‍යවකාශ වස්තුව වේ.මිනිසුන් රහිත යානාවක් යවමින් සඳට ලඟා වූ ප්‍රථම අභ්‍යවකාශ වැඩසටහන(1959) දියත් කරන ලද්දේ සෝවියට් සමූහාණ්ඩුව මඟිනි.එම වැඩසටහන "Luna" ලෙස නම්කරන ලදී.පසුව 1969 දී ඇමෙරිකාවේ නාසා ආයතනය "Apollo" වැඩසටහන යටතේ Apollo 11 මඟින් මිනිසුන් සහිතව සඳ තරණය කරන ලදී.අපේ චන්ද්‍රයා බිහිවූයේ කෙසේද.???.එයට දිය හැකි ඍජු පිළිතුරක් නොමැති වූවත් දැනට වඩාත් පිළිගන්නා කල්පිතයට ("the giant impact theory") අනුව එය සිදුවී ඇත්තේ එක්තරා කාලයක වේගයෙන් පැමිණි විශාල ග්‍රහකයක් ,පෘථිවිය හා ඇතිවූ ගැටීමක ප්‍රතිඵලය හේතුවෙන් බිහිවූ සැතපුම් 13700 හෝ කිලෝමීටර 22000 පමණ උසින් යුතු ඝන අංශු වලින් සමන්විත වළාකුලක් කාලයාගේ ඇවෑමෙන් ග්‍රහක තැටියක් බවට පත්ව පසුව එය අද අප දන්නා සඳ බවට පත්වීමයි.

ඩෙනිමේ ඉතිහාසය...

                          කතා දෙකක් නැහැ කවුරුත් ඩෙනිම් ඇඳුම් අඳින්න ප්‍රියකරනවා .ඒ වුවත් මෙම ඇඳුම පිටිපස්සේ තියෙන ඉතිහාස කතාව ඔබ දැනසිටියාද ?. ඩෙනිම් යනු ප්‍රංශ භාෂාවෙන් බිඳී ආ වදනකි ."Serge De Nimes" නම් ප්‍රංශ වචන "Denim " (ඩෙනිම්) ලෙස ඇමෙරිකන් ජාතිකයන් විසින් පසුව භාවිතයට ගනු ලැබිනි.එසේම "Jeans" යන්නද ප්‍රංශ ජාතිකයන් නිසා බිහිවූ වදනකි .එකල ඉතාලියේ "Genoa" නගරයේ සන්නාලියන් cotton trousers මැසීමෙහි ජනප්‍රියව සිටි අතර, ප්‍රංශ ජාතිකයන් විසින් මෙම "Genoa" වදන "Genes" ලෙස භාවිතයට හැඳින්වීම එය අප කවුරුත් දන්නා "Jeans" යන වචනයට බිහිවීමට හේතුවිය.

                 ඩෙනිම් ඇඳුම ගැන සඳහන් කිරීමේදී කව්බෝයිවරුන් ගැන කතා කලයුතුමයි .ඩෙනිම විලාසිතාවක් ලෙස ජනප්‍රිය වීමට කව්බෝයිවරුන් බලපෑවත් සැබෑ ලෙසම මෙය මුල් අවධියේ කව්බෝයිවරුන් ,ඇමෙරිකානු පතල් වැඩකරුවන් ,කම්කරුවන් භාවිත කරන ලද්දේ ඔවුන් යෙදී සිටින රළු රැකියා වලට ඔබින පැලඳුමක් ලෙසයි.නමුත් අද වන විට මෙය මෝස්‌තර ගණනාවකින් සහ ලෝ ප්‍රකට සන්නාම යටතේ වෙළඳ පොලේ ඕනෑම කෙනෙක්ට භාවිත කල හැකි ඇඟලුමක් වී හමාරයි.

Sunday, September 28, 2014

Moon Walk...

"Moon Walk" නර්තන පියවරෙහි යෙදෙන මයිකල් ජැක්සන්
                           "Moon Walk"යන නර්තන ක්‍රමවේදය ලෝකය පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්වන්නේ සුප්‍රසිද්ධ පොප් ගායක මයිකල් ජැක්සන් මඟිනි.මෙය ඔහු විසින් ප්‍රසංග වේදිකාවට මුල් වරට හඳුන්වාදෙනු ලැබුවේ ඔහුගේ 1983 දී එළිදැක්වුණු ඔහුගේ "Billie Jean" ගීතය සමඟිනි.1983 වසරේ මාර්තු 25 වැනිදා Motown 25: Yesterday,Today, Forever නම් විශේෂ රූපවාහිනී වැඩසටහන තුල ඔහු ප්‍රථම වරට මෙම Moon walk නර්තන ක්‍රමවේදය සිදුකර ඇත.මෙය ප්‍රේක්ෂකයන් ඇදබැඳ ගන්න නර්තනාංගයක් වන්නේ මෙය පියවි ඇසින් දකින විය මායාකාරී දෙයක් ලෙස දිස්වන බැවිනි.එනම් මෙය සිදුකරන්නා ඉදිරියට ගමන් කිරීමට දරන උත්සාහයේදී පසුපසට නොකඩවා ඇදීයාමක් ලෙස දිස්වීමයි.මෙහිදී සිදුවන මෙම බලාපොරොත්තු රහිත පසුපසට සිදුවන මායාකාරී චලනය මෙම නර්තන ශිල්ප ක්‍රමය ඉමහත් ජනප්‍රියත්වයට ලක්වීමට හේතුවයි.
                                              මෙය සිදුකරනු ලබන්නේ එක්තරා පියවරයන් කීපයක එකතුවක් ලෙසය.පළමුව ඉදිරියෙන් තබාගන්නා පාදය පොලව මත සමතලාව තබාගන්නා අතර අනෙක් පාදය ඇඟිලි තුඩු මතින් පොලවට ස්පර්ශවන පරිදි පසුපසින් තබා ගනී.(ඉදිරි පාදයට කෙලින්ම පසුපසින් නොවේ) .දෙවනුව.. ඇඟිලි තුඩු මඟින් පොලවට ස්පර්ශ වී ඇති පාදය පොලවට තෙරපමින් ඉදිරි පස පාදය.,පසුපස පාදය පසුකර මඳක් දුර යන තුරු පොලව දිගේ මෘදුව සර්පණය කල යුතුය.ඊළඟ පියවර ඒත් සමඟම ක්‍රියාත්මක වේ.එනම් මෙතෙක් පසුපසට සර්පණය කල පාදය ක්‍රමයෙන් ඇඟිලි තුඩු මතින් තබා ගන්න අතර,අනෙක් පාදය පොලවට සමාන්තරව රැගෙන එයි.නැවතත් පෙර පරිදිම ඇඟිලි තුඩු මතින් ඇති පාදය තෙරපමින් ,අනෙක් පාදය පසුපසට සර්පණය කරයි.මෙය පියවර වශයෙන් ඉදිරිපත් කිරීමේදී සංකීර්ණ ලෙස දිස්වූවත් මෙහිදී සිදුවන්නේ මූලික පියවර කීපය දාමයක් ලෙස ඉදිරිපත් කිරීමයි.නමුත් මෙය සාර්ථක ලෙස ඉදිරිපත්කිරීම සිදුවන්නේ නර්තන ශිල්පියාගේ නිපුණතාව මතය.
                                                  මෙම නර්තන ක්‍රමය මයිකල් ජැක්සන් ට පෙර මීට සමාන පියවරයන් සහිතව නොයෙක් ශිල්පීන් (James Brown,Cab Calloway,Bill Bailey,Marcel Marceau වැනි ශිල්පීන්) විසින් ඉදිරිපත් කර ඇති බවට වාර්තා ඇත (Cab Calloway විසින් 1932 දී මීට සමාන පියවර සහිතව නර්තනය සිදුකර ඇත.1930 යුගයේදී මෙය "The Buzz" ලෙස හැඳින්වූ බව ඔහු පවසා ඇත.මෙහි මූලික නර්තන ආකාරය පොදුවේ Back Slide ලෙසින් හැඳින්වේ).නමුත් මෙය අද වනවිට ලෝකයේ වඩාත් ජනප්‍රිය වීමට හේතුවූයේ මයිකල් ජැක්සන් සමඟය.ඇතැම්විට ඔහු විසින් Moon Walk නර්තන පියවර මූලධර්ම වෙනස්ම භාවිතයකට රැගෙන යමින් පැති ඔස්සේ,වෘත්තාකාර පථයන් ඔස්සේ ඉදිරිපත් කිරීම් සිදුකර ඇත.නමුත් මෙම සියලු අවස්ථාවන් සිදුකරන මූලික දෙය වන්නේ එක්පාදයක් ඇඟිලි තුඩු මතින්ද,අනෙක් පාදය පොලව මත තබා නර්තනය සිදුකිරීමට අවශ්‍ය පථය ඔස්සේ පොලවට සමාන්තර පාදය සර්පණය කරමින් ඉහත මූලික පියවරයන් දාමයක් ලෙසට සිදුකරගෙන යාමයි.

සැඟවුණු සුරූපිනිය "ඇබර්ඩීන්"...

ඇබර්ඩීන් ඇල්ල
                              අප මෙහිදී ඔබට විස්තර කිරීමට යන්නේ ඉතා සුන්දර එහෙත් ශ්‍රී ලාංකික සංචාරකයන් වැඩි දෙනෙක් ගේ කතාබහට ලක්නොවන දිය ඇල්ලක් ගැනය.මෙය නමින් "Aberdeen Fall" ඇබර්ඩීන් ඇල්ල වේ.උසින් 98 m ක් හා පළලින් 8 m ක් පමණ වන මෙම දිය ඇල්ල පිහිටා ඇත්තේ නුවර එළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන ප්‍රදේශයේ කෙහෙල්ගමුව කඳු පන්තියට වන්නටය.මෙය "Horsetail" අකාරයේ දිය ඇල්ලක් වන අතර කෙහෙල්ගමුව ඔය ආශ්‍රිත කොට ගෙන නිර්මාණය වී ඇත.උස අනුව ගත කල මෙය ශ්‍රී ලංකාවේ 18 වැනියට උසම දිය ඇල්ලයි.කෙසේ වෙතත් ලක්ෂපාන ව්‍යාපෘතිය යටතේ එකල ඉදිකළ නොර්ටන් බ්‍රිජ් වේල්ල,දිය ඇල්ලේ වතුර පරිමාව තරමක් අඩුවීමට හේතුවී ඇත.ජනශ්‍රැති වලට අනුව ඇබර්ඩීන් ඇල්ලේ සිට ලක්ෂපාන ඇල්ල දක්වා උමගක් ඇති බව සඳහන් වේ.මෙම ඇල්ල නැරඹීමට මාර්ග කිහිපයක් භාවිත කල හැක.ඔබට මස්කෙළිය -දෙහිගස්තෙන මාර්ගය ඔස්සේ ගොස් තවත් 2 Km ක තරමක දුෂ්කර ගමනක් ඇත.නැතිනම් ගිනිගත්හේන නගරයෙන් ඇල්ල උඩ මාර්ගයේ යන යනවිට හුලන්වන්ගුව අසලදී ඇලගල ග්‍රාමය සමීපවත්ම සුන්දර ඇබර්ඩීන් ඇල්ල දුර සිට දර්ශනය වේ.මෙම ඇල්ල මට්ටම් තුනකට කඩා හැලේ.ඇල්ල ආසන්නයේදී පෙනෙන්නේ එක මට්ටමකින් කඩා හැලීමක් පමණි.මෙහි දැක්වෙන්නේ සමීපයේ සිට ගත් ඡායාරූපයකි.මෙම අලංකාර ඡායාරූපයේ සම්පූර්ණ අයිතිය ජපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරී තනුර අමරතුංග සොයුරා සතුය .

චේ ගේ ලංකා ගමන

අර්නස්ටෝ චේගුවේරා
                    ෆිදෙල් කස්ත්‍රෝ , අර්නස්ටෝ චේගුවේරා ඇතුළු පිරිස 1959 ජනවාරි මස 1 වැනිදා Fulgencio Batista ගේ පාලනය පෙරලා කියුබානු විප්ලවය ජයගැනීමෙන් පසු කියුබාවේ නව පාලකයා ලෙස පත්වූ ෆිදෙල් කස්ත්‍රෝගේ උපදෙස් පරිදි පසු කලක ,එනම් 1959 ජුනි 12 වැනිදා අර්නස්ටෝ චේගුවේරා බැන්ඩුන්ග් සමුළුවේ (1955 වසරේ ඉන්දුනීසියාවේ බැන්ඩුන්ග් නුවර පැවති සමුළුවකි) සමාජිකත්වය ඉසිලූ රටවල් 14 ක තෙමාසික නිල සංචාරයක නිරත වන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස එම වසරේ අගෝස්තු මස 7 වැනි දින එතුමා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වූහ. 

සංචාරය අතරතුර මෙරට රබර් වගා කිරීමේ තාක්ෂණික ක්‍රම හා විධි දැනගැනීමට එතුමා මහත් උනන්දුවක් දක්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එතුමා ඇතුළුව මෙරටට පැමිණි පිරිස එම වසරේ අගෝස්තු මස 8 වැනිදා ළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන ප්‍රදේශයේ යහල කැලේ රබර් වතුයායට රජයේ බලධාරීන්ගේ මූලිකත්වයෙන් කැඳවාගෙන ගොස් ඇත.මෙම සුවිසල් රබර් වතුයාය එවකට J.C.D පීරීස් නම් මහතෙකුට අයිතිව තිබී ඇත. චේගුවේරා මහතා විසින් ඔහු එහි පැමිණීම සිහිවීමට මහෝගනී පැළයක්ද රෝපණය කර තිබේ. පැය කිහිපයක් එම වතුයාය "චේ" ගේ නිරීක්ෂණයට ලක්වී ඇති අතර ඔහු සහ පැමිණි අමුත්තන් සියලු දෙනා උදෑසන අහාර වේල එම වතුයායේම පිහිටා ඇති "යහල කැලේ වලව්ව" තුලදී ගෙන තිබේ.චේ ගේ ලංකා ගමනේ සුවිශේෂී මතක සලකුණක් ලෙසින් එදා එම රෝපිත මහෝගනී පැළය අද පවා විශාල වෘක්ෂයක් ලෙස නිරුපද්‍රිතව පවතී.


එවරස්ට් කඳු මුදුනේ සැඟවුණු අභිරහස...

එවරස්ට් කඳු මුදුන
                         ලොව උසින්ම පිහිටා ඇති ස්ථානය ලෙසින් සැලකෙන එවරස්ට් කඳු මුදුන මුහුදු මට්ටමේ සිට මීටර 8848ක් උසින් පිහිටා ඇත.  හිමාලය කඳු පන්තියේ Mahalangur නමින්  හැඳින්වෙන කොටසේ පිහිටා ඇති මෙය නේපාලයට සහ ටිබෙටයට මායිම්ව පිහිටා ඇත.එවරස්ට් කඳු මුදුන ප්‍රථමයෙන් තරණය කිරීමේ ගෞරවය හිමිකරගත්තේ නවසීලන්ත ජාතික එඩ්මන් හිලරි හා නේපාල ශර්පා ජාතික ටෙන්සින් නොර්ගේ ය.ඒ වර්ෂ 1953 මැයි 29 දීය.එය කඳු තරණය කිරීමේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පෙරලීමට මුල් වූවා සේම එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට ලොව පුරා විසිරී සිටින කඳු තරණය කරන්නන් අතර ඇති උනන්දුව වැඩිකරලීය .නමුත් එම වාර්තාව අභියෝගයට ලක්වන ආන්දෝලනාත්මක සිදුවීමක් 1999 දී සිදුවිය.ඒ එම වසරේ මැයි මස ඇමෙරිකන් ජාතික එරික් සිම්සන් ඇතුලු කඳු නගින කණ්ඩායම, ඊට වසරක 75 කට පෙර එනම් 1924 දී එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ යෙදීසිටි බ්‍රිතාන්‍ය ජාතික ජොර්ජ් මැලරි හා අන්ඩෲ අයිවන් ගමන් කල ගිරිදුර්ග සහිත මාර්ගයේදී ඔවුන් අතුරුදහන් වූ ආකාරය ගවේෂණය කිරීමත් සමඟය.
 
එඩ්මන් හිලරි හා ටෙන්සින් නොර්ගේ
මැලරි හා ඔහුගේ සඟයා අයිවන් අතුරුදහන් වූ හිම කුණාටු බහුල අතිශය අසීරු මෙන්ම අතිශය බිහිසුණු ප්‍රදේශයට ලඟාවූ එරික් සිම්සන් ඇතුලු කණ්ඩායමට අවට නිරීක්ෂණය කිරීමේදී මස් දියවී ගොස් කහපැහ ගැන්වුනු මැලරිගේ කවන්දය සොයාගත හැකිවිය.අවට පරිසරයේ අධික ශීතල නිසා මල සිරුර වසර 75 ක් ගෙවීගොස් තිබුනද සැලකිය යුතු කොටසක් සම්පූර්ණයෙන් විනාශ නොවී පැවතිනි.නමුත් අන්ඩෲ අයිවන් ගේ සිරුර හමුනොවිනි.පසුව මැලරිගෙ සිරුර සම්බන්ධයෙන් කෙරුනු පරීක්ෂණවලින් අනතුරුව එම දේහය මැලරිගේ ම බව තහවුරුවිය.මල සිරුරේ දකුණු පාදයේ කෙණ්ඩා ඇටය බිඳීගොස් තිබූ අතර දකුණු වැලමිට විසන්ධි වී තිබී ඇත.දේහයේ තිබූ ඇඟලුමේ ඇතුල් පැත්තෙහි "G Mallory "නමින් සඳහන්ව තිබී ඇත.එහෙත් පර්යේෂකයන් හට ඇතිවූ මීලඟ ගැටලුව වූයේ,මැලරි හා අයිවන් එවරස්ට් කඳු මුදුන වෙත යාමේදී සිදුවූ අනතුරක්ද නැතිනම් මුදුන තරණය කොට පැමිණීමේදී සිදුවූ අනතුරක්ද යන්නය.එහිදී ඔහු කඳු මුදුන වෙත ලඟාවූ බවට අනුමාන කල හැකි සාක්ශි කිහිපයක් පවතී.එවැනි එක් සාක්ශියක් නම්,මැලරි තම බිරිඳගේ (Ruth Mallory) ඡායාරූපයක් කඳු මුදුනේ තැබීමට ගෙනගොස් ඇති අතර ඔහුගේ දේහයේ තිබූ ඇඟලුම් කිසිවකින් පසුම්බිය හා අනෙකුත් කඩදාසි සුරැකිව තිබියදී පවා එවැනි ඡායාරූපයක් හමුනොවීමය.
 
අන්ඩෲ අයිවන් සහ ජොර්ජ් මැලරි
කෙසේ හෝ මොවුන් භාවිත කල කැමරාව මේ වෙනතුරු සොයාගැනීමට අපොහොසත් වීම නිස මොවුන් එවරස්ට් කඳු මුදුන තරණය කලායැයි නිසැකවම ඔප්පු කිරීමට තිබූ ප්‍රබලතම සාක්ෂිය ගිලිහී ගොස් ඇත .කඳු මුදුන තරණය කොට තිබුනේ  නම් නිසැකවම ඔවුන් එහි සිට අවට ඡායාරූප ගතකරනු නොඅනුමානය.එමනිසා තවමත් එවරස්ට් කඳු මුදුන ප්‍රථමයෙන් තරණය කිරීමේ ගෞරවය හිමිකරගත්නේ එඩ්මන් හිලරි හා ටෙන්සින් නොර්ගේ ය. නමුත් කෙදිනක හෝ අනාගතයේ මෙම කැමරාව සුරැකිව සොයාගැනීමට හැකිවුවහොත් එවරස්ට් තරණයේ ප්‍රථමයන් වීමේ ගෞරවය ජොර්ජ් මැලරි හා අන්ඩෲ අයිවන්ටද නැතිනම් එඩ්මන් හිලරි හා ටෙන්සින් නොර්ගේටද යන්න තීරණය වනු ඇත.