Monday, June 20, 2016

කුරුළු ලොවේ මයිකල් ජැක්සන්

මධ්‍යම සහ දකුණු අමෙරිකාවේ ඇතැම් රටවල Red Capped Manakin නම් වූ එක්තරා අපූරු කුරුළු වර්ගයක් වාසය කරයි.රතු පැහැති හිසක් කළුවන් ශරීරයක් සහ පාදය වටා කහ පැහැති පිහාටු වලින් හැඩවුනු මෙම වර්ගයේ පිරිමි පක්ෂියා සහ කොළ පැහැති ශරීරයක් සහිත ගැහැණු පක්ෂියා තුරු අතු පතර සිදුකරන ක්ෂණික වේගවත් එහා මෙහා පියඹා යෑම් සුවිශේෂී වේ. බහුල වශයෙන් පළතුරු ආහාරයට ගැනීමට රුචිතාවයක් දක්වන මෙම පක්ෂියා කෘමී සතුන් පියාඹා ඩැහැ ගැනීම දක්නට ලැබේ.

Red Capped Manakin පක්ෂීන් යුවලක්
වර්ගයා බෝ කිරීමේලා ඇතැම් පක්ෂීන් සහකාරිය ආකර්ෂණය කරගැනීමට මියුරු හඬින් නාදකරයි.ඇතැම් පක්ෂීන් අලංකාර කූඩු තනා සහකාරියගේ කැමැත්ත පතයි.තවත් පක්ෂීන් තම ශරීරයේ අලංකාර වර්ණවත්භාවය සහකාරියට පෙනෙන්නට සලස්වයි.ඒ එක් එක් ආකාර අතර  මෙම Red Capped Manakin පක්ෂීන්ගේ අභිජනන සමයේ පිරිමි සත්ත්වයා එම වර්ගයේ ගැහැණු පක්ෂීන් ආකර්ෂණය කර ගැනීමට අපූරු නර්තන ආකාරයක් සිදුකරයි.

මේ සියළු ක්‍රියාදමයන්ට පෙරතුව පිරිමි කුරුල්ලා විසින් ගැහැණු කුරුල්ලාට තම ක්‍රියාකාරකම් හොඳින් දිස්වීමට කොළ අඩු පැහැදිලි අත්තක් තෝරා ගනී.ලැග සිටින අත්තෙන් ක්ෂණිකව නික්ම එහා මෙහා වට කිහිපයක් පියඹා නැවත අත්තෙහි ලැග ඉදිරියට නැමී පෙඳය ඔසවා මඳක් වනමින් සිය පියාපත් යුගල පියඹා යෑමට උත්සාහ කරන අයුරින් තටු ගැසීම සිදුකරයි.ඉන්පසු ලැග සිටින අත්තේ එහා මෙහා වේගයෙන් පසුපසට ලිස්සා යන අයුරින් සිදුකරන අපූරු චමත්කාර ජනක නර්තනය බලා සිටින අයට සිහිකර දෙන්නේ සුප්‍රකට පොප් ගායන ශිල්පී මයිකල් ජැක්සන් සිදුකල  මූන් වෝක් (Moon Walk) නර්තන වින්‍යාසයයි.නමුත් සැබවින්ම සිදුවන්නේ පිරිමි පක්ෂියා විසින් වේගයෙන් පිටුපසට සිදුකරන කුඩා පැනීම් සමූහය පිටුපසට වේගයෙන් ලිස්සා යාමක් ලෙස මිනිස් ඇසට නිරීක්ෂණය වීමයි.මෙම සතුන් පියඹා යාමේදී තියුණු ශබ්දයක් නිකුත් වන අතර එම ශබ්දය උන්ගේ මුවින් පිටවන්නක් නොව පියපත් කෙලවර ගැටීමෙන් ඇතිකරවන්නක් බව විද්‍යාඥයින් තහවුරු කොට ගෙන ඇත.

පහත උපුටාගත් වීඩියෝ කොටසින් දැක්වෙන්නේ Red  Capped Manakin පිරිමි පක්ෂියා එම නර්තනයේ යෙදෙන ආකාරයයි.

No comments:

Post a Comment